බිඳ වැටුණු ජනතා විශ්වා­සය යළි දිනා ගැනීම අපට දැන් තිබෙන වැද­ගත්ම දෙයයි-සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ නව ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියයි

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ක්ෂේත්‍රයේ වැද­ගත්ම ලක්ෂ­ණය ජන­තා­වගේ බිඳ­වැ­ටුණු විශ්වා­සය නැවත දිනා ගැනී­මට කට­යුතු කිරීම බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ නව ලේකම් ලෙස සිය ධුරයේ වැඩ ආරම්භ කර­මින් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැව­සීය.

වසර 5කට පසු සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යට නැවත පැමි­ණී­මට ලැබීම පිළි­බ­ඳව තමන් සතු­ටට පත්වන බවත්, විශ්වා­සය යනු ඇතැම් පුද්ග­ල­යන් ළඟ ඇති, සම­හරු ළඟ නැති ඉතා දුර්ලභ මැණි­කක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාගේ ද සහ­භා­ගී­ත්වය ඇතිව ඊයේ (11) පෙර­ව­රුවේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ දී සිය රාජ­කාරී කට­යුතු ආරම්භ කිරී­මෙන් පසු පැමිණ සිටි නිල­ධා­රීන් සහ කාර්ය මණ්ඩ­ලය අම­ත­මින් නව ලේක­ම්ව­රයා මේ බව පැව­සීය.

ජනතා විශ්වා­සය දිනා ගනි­මින් ආර්ථික ගැට­ලු­වට මුහුණ දී සිටින ජන­යාට සාධා­රණ මනු­ෂ්‍ය­ත්ව­යෙන් හෙබි සේවා­වක් රටේ ස්ථාපිත කිරී­මට වත්මන් සෞඛ්‍ය ජන­මාධ්‍ය ඇමැ­තිගේ මඟ­පෙ­න්වීම, උන­න්දුව සහ දැක්ම අනුව කට­යුතු කරන බව ද ඒ මහතා පැව­සීය.

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ, පළ­පු­රුදු නිල­ධා­රීන් සමඟ ජන­තාව බලා­පො­රොත්තු වන වෙනස ඇති කර­මින්, අධි­ෂ්ඨා­න­ශී­ලි­ව‍ ­රට ඉදිරි සංව­ර්ධ­නය කරා ගෙන­යෑමේ වැඩ­පි­ළි­වෙළේ පංගු­කා­ර­යන් වීමේ වාස­නාව සිය­ලු­දෙ­නාට හිමිව තිබෙන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

නව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ලේක­ම්ව­රයා වැඩ භාර­ගැ­නීමේ අව­ස්ථා­වට එක්වෙ­මින් අද­හස් දැක් වූ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා කියා සිටියේ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ක්ෂේත්‍ර දෙකේම දැවැන්ත අභි­යෝග පව­තින බවයි. සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ක්ෂේත්‍ර­වල විශ්වා­සය තහ­වුරු කිරීම සිය­ලු­දෙ­නාගේ කාර්ය­භා­රය බව ද, කර­ගෙන යන වැඩ­පි­ළි­වෙළ අඛ­ණ්ඩව ඉදි­රි­යට ගෙන­යෑ­මට සහ නව වැඩ කට­යුතු කිහි­ප­යක් ආරම්භ කිරී­මට බලා­පො­රොත්තු වන අතර නව ලේක­ම්ව­ර­යාගේ අත්දැ­කීම් ද සමඟ එක පවු­ලක් ලෙස ඉදි­රි­යට කට­යුතු කරන බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය. ආග­මික වතා­ව­ත්ව­ලට මුල් තැන දෙමින් සිය ධුරයේ වැඩ භාර­ගත් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහ­තාට පැමිණ සිටි නිල­ධා­රීන් හා කාර්ය මණ්ඩ­ලය සුබ පැතුම් එක් කළ අතර, නව ලේක­ම්ව­රයා ඔවුන් සමඟ සුහද කතා­බ­හක නිරත විය.

විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මින් පෙර ද සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා ලෙස ද කට­යුතු කළ අතර, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් ධුරයේ ද, පරි­සර අමා­ත්‍යාං­ශයේ ලේකම් ධුරයේ ද කට­යුතු කර ඇත. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍ර­යට විශාල සේවා­වක් සිදු කළ ඒ මහතා කීර්ති­මත් රාජ්‍ය නිල­ධා­රි­යෙකි.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ වැඩ­බ­ලන ලේකම් ලෙස කට­යුතු කළ අති­රේක ලේකම් (පාලන) වත්සලා ප්‍රිය­ද­ර්ශනී, අති­රේක ලේක­ම්ව­රුන්, ජ්‍යෙෂ්ඨ සහ­කාර ලේක­ම්ව­රුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රුන්, අධ්‍ය­ක්ෂ­ව­රුන්, රෝහල් හා සෞඛ්‍ය ආය­තන නියෝ­ජ­නය කර­මින් අධ්‍ය­ක්ෂ­ව­රුන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.