පිට පිට දෙවැනි වරටත් ඉනිම ගොඩනැඟීමේ බර කරටගත් සොනාල් දිනුෂ 5 වැනි කඩුල්ලට පවන් රත්නායක සමඟ එක්ව ගොඩනැඟූ ශතක සබඳතාව හේතුවෙන් පාකිස්තාන සහීන්ස් (‘ඒ’) පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී කඩුලු 4කට ලකුණු 157ක් රැස් කිරීමට සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමත් විය.
ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරන විට පවන් නොදැවී ලකුණු 64ක් සහ සොනාල් ලකුණු 51ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 46ක් තුළ බිඳ වැටුණු අතර, සොනාල් – පවන් 5 වැනි කඩුල්ලට ලකුණු 111ක නොබිඳුණු සබඳතාවක් ගොඩනඟා තිබිණි.
මේ තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 310ක් රැස් කළ අතර, පාකිස්තාන පළමු ඉනිම ලකුණු 287කට සීමා විය. ඒ අනුව ලකුණු 23ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ක්රීඩකයෝ කඩුලු 5ක් අතැතිව පාකිස්තානයට වඩා ලකුණු 150ක් ඉදිරියෙන් සිටියහ.
ලකුණු 212කට කඩුලු 5ක්ව තිබියදී ඊයේ දිනය ඇරඹූ පාකිස්තාන පිලට තවත් එක්කර ගත හැකි වූයේ ලකුණු 75ක් පමණි. අවසන් පිතිකරු ආබාධයකට ලක්වීම හේතුවෙන් පන්දුවට පහරදීමෙන් වැළකී සිටියේය. පාකිස්තාන ඉනිම බිඳ දැමූ වනුජ සහන් ලකුණු 74කට කඩුලු 5ක් දවාගත් අතර, සොනාල් දිනූෂ, නිපුන් ධනංජය, චාමික ගුණසේකර සහ ඉසිත විජේසුන්දර කඩුල්ල බැගින් දවා ගත්හ.
අද තරගයේ අවසන් දිනයයි.
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 310 (ඕවර 79) සොනාල් දිනූෂ නොදැවී 85, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර 51, පවන් රත්නායක 35, අහන් වික්රමසිංහ 30, දිනුර කළුපහන 30 (කුරාම් ෂාසාඩ් 30/6, අහමඩ් සෆි 100/2)
පාකිස්තාන සහීන්ස් පළමු ඉනිම – 287 (ඕවර 71) අබ්දුල් ෆසීන් 59, මොහොමඩ් සුලෙමාන් 40, හයිදර් අලි 35, අහමඩ් සෆි 39 (වනුජ සහන් 74/5)
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම – 157/4 (ඕවර 45.2) පවන් රත්නායක නොදැවී 64, සොනාල් දිනූෂ නොදැවී 51