ශ්‍රී ලංකා-පාකිස්තාන ‘ඒ’ සිව්දින ගැටුම අද ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන සහීන්ස් (‘ඒ’) පිල අතර තරග දෙකකින් සමන්විත නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ඉස්ලාමාබාද්හිදී ආරම්භ වෙයි.

දකුණු අප්‍රිකාව දෙවරක් (2023 සහ 2024) ඇෆ්ගනිස්තානය (2024) පරාජය කරමින් අඛණ්ඩව සිව්දින ටෙස්ට් තරගාවලිය තුනක් ජයගත් ශ්‍රී ලංකා ‘ඒ’ ජයග්‍රාහී මානසිකත්වයන් අද තරග බිමට පිවිසෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සිව්දින තරග බිමේදී වසර 14කින් පාකිස්තාන සහීන්ස් පිල පරාජය කර නැති බැවින් මෙවර එම අවස්ථාව උදාවී තිබේ.

2010 වසරේ අවසන් වරට ශ්‍රී ලංකා ‘ඒ’ පිල පාකිස්තාන පිල පරාජය කළ අතර, අනතුරුව පැවති තරගාවලි ත්‍රිත්වයම ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ. දෙපිල මෙවර හමුවන්නේ වසර 3කට පසුවය. මේ දෙපිල අවසන් වරට 2021 වසරේ පල්ලෙකැලේදී හමු විය.

මේ තරගාවලියට පිටත්ව යෑමට පෙර සිව්දින පිලේ නායකත්වය දරන පසිඳු සූරියබණ්ඩාර කියා සිටියේ පසුගිය සංචාර සියල්ල ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්ව තිබීම මෙන්ම මේ සංචිතයට එක් වූ පසුගිය නැඟී එන ආසියානු කුසලාන කණ්ඩායම් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන් හොඳ දස්කම් පෙන්වීමත් සෙසු ක්‍රීඩකයන් මෙරටදී හොඳින් පුහුණුවීම් කිරීමත් හේතුවෙන් මේ තරගාවලියට සාර්ථකව මුහුණ දිය හැකි වනු ඇති බවයි.

ශ්‍රී ලංකා සිව්දින සංචිතය: පසිඳු සූරියබණ්ඩාර (නායක), නිපුන් ධනංජය, ඕෂධ ප්‍රනාන්දු, පුළිඳු පෙරේරා, පවන් රත්නායක, සොනාල් දිනූෂ, අහන් වික්‍රමසිංහ, විශාද් රන්දික, වනුජ සහන්, විශ්ව ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, චාමික ගුණසේකර, නිසල තාරක, අෂේයින් ඩැනියල්, දිනුර කලුපහන.