ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක හැර සෙසු මුල් පෙළ පිතිකරුවන් එංගලන්ත තරග බිමේදී පිට පිට 5 වැනි වරටත් ලකුණු අතරට පිවිසීමට අසමත් වීම හේතුවෙන් යළිත් ලන්ඩනයේ ඕවල්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදීත් බර කරට ගැනීමට කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වාට සිදු වූහ.
ඔවුන් දෙදෙනා අර්ධ ශතක රැස් කරමින් ඉනිම ගොඩනැඟුවත් එංගලන්තය පළමු ඉනිමට රැස් කළ ලකුණු 325ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිලට පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ හැකි වූයේ ලකුණු 263ක් පමණි.
සිය පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිලට පෙරේදා තරගයේ දෙවැනි දිනයේදීම මුල් පෙළ කඩුලු 5ක් අහිමි වූයේ ලකුණු 93ක් තුළදීය.
ඒ අනුව 6 වැනි කඩුල්ලට එක් වූ ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 127ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.
තරගයේ දෙවැනි දිනය නිමා වන විට ධනංජය ලකුණු 64ක් සහ කමිඳු ලකුණු 54ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, ඔවුන් දෙදෙනාගේ සබඳතාවට ඊයේ දිනයේ තවත් එක් කර ගත හැකි වූයේ ලකුණු 9ක් පමණි. ලකුණු 5ක් රැස් කිරීමෙන් අනතුරුව දිනයේ පළමු කඩුල්ල ලෙස ධනංජය දැවී ගිය අතර, තවත් ලකුණු 13කට පසුව කමිඳුගේ ඉනිම ද නිමා විය.
ධනංජය පන්දු 111කදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 69ක් රැස් කළ අතර, ඊයේ සිය ඉනිම ලකුණු 10ක් එක් කළ කමිඳුගේ ඉනිම පන්දු 91කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 64ක් විය. අවසන් කඩුලු 3ට ලකුණු 30ක් එක් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 63 දක්වා ඉදිරියට ගෙන යෑමට පසු පෙළ පිතිකරුවෝ සමත් වූහ.
පෙරේදා ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 9ක් ලබා සිටියදී දුවද්දි දැවී ගිය අතර, මුල් තරග දෙකේදී අසාර්ථක වූ නිශාන් මධුෂ්ක වෙනුවට යළි තෙවැනි තරගයට කැඳවූ කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 14කින් නතර විය. ජ්‍යෙෂ්ඨම පිතිකරුවන් දෙදෙනා වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 7ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට ඔලි ස්ටොන් සමත් වූ අතර, මැතිව්ස්ගේ ඉනිම ලකුණු 3කට සීමා වෙද්දී චන්දිමාල් දැවී යන විට ලකුණු රැස් කිරීමට ආරම්භ කර නොතිබිණි. මැතිව්ස් තෙවැනි කඩුල්ල ලෙසත් චන්දිමාල් 5 වැනි කඩුල්ල ලෙසත් දැවී ගිය අතර, සිව්වැනි කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක දැවී ගියේ ලකුණු 64ක් රැස් කිරීමෙන් අනතුරුවය. ඔහු පන්දු 51කදී හතරේ පහර 9ක් එල්ල කර තිබිණි. මේ තරගයේදී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ ජොෂ් හුල් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ඔලි ස්ටෝන් කඩුලු 3ක් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 2ක් දවා ගත්හ.
පළමු දිනයේ කඩුලු 3ක් දැවී ලකුණු 221ක් රැස් කර සිටි එංගලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල පෙරේදා මුළු ලකුණු 261දී බිඳ දැමීමට මිලාන් රත්නායක සමත් වූ අතර, අවසන් කඩුලු 6 ලකුණු 35ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක ඔලී පෝප් 7 වැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 156කින් ලකුණු 154ක් රැස් කර තිබුණේ හතරේ පහර 19ක් සහ හයේ පහර 2ක් සමඟිනි.
ඊයේ දිවා විවේකය සඳහා තරගය නතර කරන විට එංගන්තය කඩුලු 2ක් දැවී ලකුණු 35ක් රැස් කර සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 97ක් පෙරමුණ ගනිමිනි.








