හැට නව ලක්ෂයකගේ ජනවරමකින් බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර රට හැර ගිය පසු අසරණ වූ ජනතාවගේ පිහිටට සිටි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු අධිකරණ ඇමැති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ දුක් ගිනි නිවා දැමීමට ඉදිරිපත් වී එය සාර්ථකව ඉටු කළ නිසා මෙවර ජනාධිපතිවරණයේදී එතුමාගේ ජයග්‍රහණය සඳහා සහාය වීමට තමා තීරණය කළ බව ද හිටපු අධිකරණ ඇමැති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය. තලතා අතුකෝරළ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ වැලිමඩදී ඊයේ (08) පැවැති “පුළුවන් ශ්‍රී ලංකා“ ජනරැලියට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද කීවාය.
මට අද දේශපාලන ජීවිතේ ඉතා වැදගත් දවසක්. ඒ වගේම ඉතාම සතුටු දවසක්. මම දිගු කලක් මේ තීරණය ගැනීමට කල්පනා කරමින් සිටියා. මම හෘද සාක්ෂියට එකඟව තීරණ ගන්න කෙනෙක්. මම වසර විස්සක් පාර්ලිමේන්තුවේ සිටියා. ඉන් වසර දාසයක් රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ යටතේ හිටියා. වසර හතරක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ හිටියා. මට මේ නායකයන් දෙදෙනාගේම දුර්වලකම්, හැකියාවන්, කුසලතා දක්ෂතා ගැන කතා කරන්න පුළුවන්. ඒත් ඊට මේ අවස්ථාව නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. මම එතුමාගේ ජයග්‍රහණයට සහාය දැක්වීමට තීරණය කළා. මම මේ තීරණය ගත්තෙ බොහොම හොඳට කල්පනා කරලා.
මීට අවුරුදු දෙකකට පෙර අපේ රටේ ජනතාව දුක් ගොඩක හිටියේ. එදා හිටපු ජනාධිපතිතුමා රට අතහැර ගියා. ජනතාව අතරමං වුණා. ඒ අවස්ථාවේ ජනතාවට කෑම බීම බෙහෙත් ඉන්ධන විදුලිය ජලය කිසි දෙයක් නැහැ. දරුවට කිරි ටිකක් නෑ. සෑම දේම ලබාගන්න පෝලිම් තිබ්බා. පෝලිම්වල ගන්නත් බඩු නැහැ. ඒ අවස්ථාවේ ජනාධිපති ආර්ථික වශයෙන් රට ස්ථාවර කරන්න කටයුතු කළා. අමාරු තීරණ ගත්තා. සහනයක් ලැබුණා. එතුමා නොහිටින්න අද අපේ රටේ මොන තත්ත්වයක් තිබේද හිතාගන්නත් බැහැ. එතුමා එදා තනි මන්ත්‍රීවරයා වශයෙන් ඉදිරිපත් වෙලා මේ ගැටලුවලට විසඳුම් ගෙනාවා. ඒ කළ දේට ගරු කිරීමක් ලෙසයි මම එතුමාට මේ ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය ලබාදීමට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණේ. යැයිද කීවේය.
ජයසිරි මුණසිංහ වැලිමඩ සිට….
