නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තමන්ට හිමිකම් ඔප්පුවකින් අයත් නිවෙස හැටන් වැවිලි සමාගමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට දීම නීත්‍යනුකූල නොවන බව පවසමින් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ඒ. අරවින්ද කුමාර් මහතා ලිඳුල පොලිසියට පසුගියදා (06) පැමිණිල්ලක් කර ඇත.
1985 වසරේ තමන් එම වතුයායේ සේවය කරන අවස්ථාවේ දුන් නිල නිවෙසට යාබදව පිහිටි විශාල ඉඩමක් තම මව විසින් තමන්ට දුන් බවත්, එම ඉඩමට 2015 වසරේ හිමිකම් ඔප්පුවක් ද ගෙන ඇති බවත්, අධිකරණය මඟින් වතු සමාගමට භාර දිය යුතු ඉඩම නොව ඊට යාබදව පිහිටි වෙනත් ඉඩමක්දී ඇති බවත් රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර් මහතා විසින් කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත.
තමන් නිවෙසේ නොසිටි අවස්ථාවේ දොරගුළු කඩා ඇතුළුවී ඇති වතු පාලන අධිකාරිය සහ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් තමන්ට අයිති නිවෙස එම වතුයායේ පාලන අධිකාරියට භාර දුන් නියෝගය ඉඩමේ මායිම් පිළිබඳව අවබෝධයකින් තොරව මුළු ඉඩමම සහ එම ඉඩමේ පිහිටි සියලුම ගොඩනැඟිලි භාර දීම නිවැරදි නොවන බවත්, ඒ පිළිබඳව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පවසමින් අරවින්ද කුමාර් මහතා විසින් කර ඇති පැමිණිල්ලේ වැඩිදුරටත් සටහන් කර ඇත.
අධිකරණ කිහිපයකින් දුන් නියෝගයක් සම්බන්ධයෙන් පොලිසියට කිසිවක් සිදු කිරීමට නොහැකි බවත්, ඒ සඳහා අවශ්‍ය නීති උපදෙස් ගෙන අවශ්‍ය ඉදිරි නීතිමය කටයුතු කරන ලෙසට අරවින්ද කුමාර් මහතාට පොලිසියේ නිලධාරීන් පවසා ඇත.
ඉකුත්දා (05) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු නිලධාරීන් පිරිසක් ලිඳුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි අරවින්ද කුමාර් මහතාට වතු සමාගම විසින් නිල නිවෙස වශයෙන් දී තිබූ නිවෙසේ අරවින්ද කුමාර් මහතාට අයත් යැයි කියන සියලුම පෞද්ගලික බඩු බාහිරාදිය ලැයිස්තුගත කර එම වතුයායේ පාලන අධිකාරිය වෙත භාර දී ඇති අතර, වතු පාලන අධිකාරිය විසින් එම භාණ්ඩ වතුයායේ වෙනත් ගොඩනැඟිල්ලක ආරක්ෂිතව තබා එම ගොඩනැඟිල්ලට මුරකරුවන් ද යොදා ඇත.