ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ රාත්‍රී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් විසිතුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2024 ‍පෙබරවාරි මස 03 වන දින මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයට අනුයුක්ත නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රා යොදවා සිදු කර ඇත.

එහිදී, යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් විසිතුන් දෙනෙකු (23) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසිතුන් දෙනා (23) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.