මෙරට ප්‍රධාන නගරයේ ඉදිකර ඇති පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය මේ වනවිට පාවෙන නගරයක් නොව පාවෙන අපායක් බවට පත්ව ඇති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (15) බේරේ වැව ආශ්‍රිතව ඉදිකර ඇති පාවෙන වෙළඳ මධ්‍යස්ථානයේ පවතින තත්ත්වය සහ එහි ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමටත් බේරේ වැව සංවර්ධනය සඳහාත් අවශ්‍ය සැලසුම් සකස් කිරීම වෙනුවෙන් එහි ක්ෂේත්‍ර පරීක්ෂණයකට එක්වෙමිනි.
මෙම ව්‍යාපෘතියේ ආරම්භක සැලැස්ම අතරමගදී වෙනස් කර පසුගිය පාලන සමයේ දේශපාලන ක්‍රියාමාර්ග සමඟ ගත් තීන්දු හේතුවෙන් අද වනවිට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.
ඉන් කොළඹ නගරයටත් ජනතාවට සහ පරිසරයට දැඩි අහිතකර තත්ත්වයක් නිර්මාණයවී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
2014 වසරේ ආරම්භ කරන ලද පාවෙන මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු වෙළදසැල් 92ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මෙම වෙළදසැල් වසර 5ක බදු පදනමක් මත ව්‍යාපාරිකයින්ට පිරිනමා ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වනවිට මෙහි ක්‍රියාත්මක වන්නේ වෙළඳසැල් 16ක් පමණක් බවත් නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් වෙළදසැල් පරිශ්‍ර දැඩි ලෙස විනාශයට පත්ව මේ වනවිට පාරිභෝගිකයින් නොපැමිණෙන ස්ථාන බවට පත්ව ඇති බව සඳහන්ය.
දිනෙන් දින මෙහි වෙළඳසැල් සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් විනාශයට පත්වෙමින් පවතින අතර දැව හා ලෝහ ආශ්‍රිතව සිදු කර ඇති ඉදිකිරීම් දිරාපත්වීම හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ද උද්ගතව ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පැවසීය.
එමෙන්ම කොළඹ බැස්ටියන් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත භාවිත කරන රාජ්‍ය සේවකයින් ඇතුළු ජනතාව Floating Market සංකීර්ණය හරහා ඉදිකර ඇති මාර්ගයේ ගමනාගමනයේ යෙදෙති.
එහි යකඩ තහඩු හා අත්වැට ගැලවී මෙම හරස් මාර්ගය ද දැඩි ලෙස අනාරක්ෂිතවී තිබේ.
බස් හා දුම්රිය සේවා ලබා ගනු ලබන ජනතාව දිවා රාත්‍රී ගමනාගමනයට කෙටි මාර්ගයක් ලෙස මෙය භාවිත කරනු ලැබීය.
මෙහි සියලුම විදුලි පද්ධති අක්‍රියවී අනාරක්ෂිත තත්ත්වයට අමතරව විවිධ අපචාර සිදුවන ස්ථානයක් බවට ද පත්ව ඇති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පාවෙන වෙළඳ සංකීර්ණ පරිශ්‍රයේ සියලුම ප්‍රවේශයන් භෞතිකව නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ, පවතින අනාරක්ෂිත තත්ත්වයට කඩිනම් විසඳුම් ලබාදී ජනතාවගේ හා ව්‍යාපාරික ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය.
අනතුරු පවතින ස්ථාන හා ඉවත් කළ අබලි ද්‍රව්‍ය, කසල බැහැර කිරීම් විධිමත්ව සිදුකරන ලෙසත් භාෂා ත්‍රිත්වයෙන් දැනුම්වත් කිරීමේ පුවරු සටහන් කර ආරක්ෂිත තත්ත්වයන් ස්ථාවර කරන ලෙසට නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
පැවතියාට වඩා උසස් තැනකට මෙම ව්‍යාපෘතිය නැවත පරිවර්තනය කිරීමට ප්‍රමිතිගත වැඩපිළිවෙලක් සිදුකිරීමේ අවශ්‍යතාවය ද බේරේ වැවේ ජල තලය මතුපිට පවිත්‍ර කිරීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මගින් දෛනිකව සිදුකිරීමේ අවශ්‍යතාවය ද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.
හෙක්ටයාර් 65ක් පුරා විහිදී පවතින බේරේ වැව සංවර්ධනයට අවශ්‍ය තිරසර සැලසුම් වෙනුවෙන් බේරේ වැවේ ස්ථාන තුනකින් නිරීක්ෂණයට ද එරංග ගුණසේකර මහතා එක්විය.
ඒ, බේරේ වැව මගින් උද්ගතව ඇති සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්නත් එහි සංවර්ධනය බලපාන ගැටළුත් සොයාබැලීම අරමුණෙනි.
නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නැගෙනහිර බේරේ, බටහිර බේරේ සහ ගංගාරාම බේරේ යන ස්ථානවලින් නිරීක්ෂණයන් සිදු කළ අතර, එහි පවතින තත්ත්වයන් සමීපව අධ්‍යනය කළේය.
දැනට දිරාපත් වෙමින් අනාරක්ෂිතව පවතින බේරේ වැවේ රැහැන් පාලම සහ ‘කලාදූවේ බුබ්බුලාකාර සෙවණ’ පරිශ්‍රය ද නිරීක්ෂණය කිරීම මීට සමගාමීව අමාත්‍යවරයා විසින් සිදු කළ බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.








