නීතිවිරෝධීව මෙරට රැදී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ දී හෝටලයක් තුළ නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශීය ජාතිකයන් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සිදු කරන ලද විශේෂ වැටලීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතික පිරිමි පුද්ගලයන් 10ක්ද, මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයෙක්, චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු සහ මැලේසියානු ජාතික කාන්තාවක් ද වන බව පොලීසිය පැවසීය.

මෙම පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාවේ අදාළ හෝටලය තුළ පරිගණක අපරාධ සිදු කිරීම සඳහා දැවැන්ත මෙහෙයුම් මධ්‍යස්ථානයක් සඳහා වන මූලික ඉදිකිරීම් කටයුතු සිදු කරමින් තිබූ බවටද හෙළි වී ඇත.
 
කෙසේවෙතත් මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ පෞද්ගලික ව්‍යාපාරයක් නමින් ලියාපදිංචිය සිදු කරමින් මෙම ජාවාරම සිදු කිරීමට සැලසුම් කර තිබූ බවය.