රජය සතු ව්‍යාපාරවල යහපැවැත්මට ශක්තිමත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, රජය සතු ව්‍යාපාර ආයතනවල අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් වෙනුවෙන් පසුගියදා සංවිධාන කර තිබූ වැඩමුළුවක් අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ කෝප් සභාපතිවරයා, රජය සතු ව්‍යපාර ක්ෂේත්රයේ පවතින අසංවිධිත බව ඉවත් කිරීම සඳහා ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකළ යුතු බවත් රාජ්‍යයට වග කියන නිලධාරීන් ලෙස ඉහළ කාර්ය සාධනයක් පෙන්වීම අපේක්ෂා කරන බවත් පෙන්වා දුන්නේය.
සියලු රජය සතු ව්‍යාපාර ප්‍රධානීන් මීට පෙර කැඳවා සාර්ථක වැඩමුළුවක් පැවැත්වීමට හැකිවූ බව සඳහන් කළ කෝප් කමිටු සභාපතිවරයා, මූල්‍ය විනය සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙලෙස සියලු ආයතනවල අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් කැඳවා දැනුවත් කිරීමක් සිදු කිරීමට තීරණය කළ බවත් පවසා සිටියේය.
එසේම රජය සතු ව්‍යාපාර ආයතන 457ක් පවතින නිසා එම සියලු ආයතන කෝප් කමිටුවට කැඳවීම ප්‍රායෝගිකව අපහසු බැවින් එම ආයතනවල කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කිරීමට අපේක්ෂා කරන බවත් කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය විගණනය සහ රාජ්‍ය ආයතනවල කාර්යභාර්ය, වගකීම් හා සහයෝගීතාව පිළිබඳ විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය මෙහිදී සිය දේශනය ඉදිරිපත් කළාය.
රජය සතු ආයතනයන්හි අරමුදල්වල හිමිකරුවන් මහජනතාව බැවින් ඒවා මහජනතාව වෙනුවෙන් නිසි පරිදි කළමනාකරණය කළ යුතු බවත් ඒ සඳහා නිසි මූල්‍ය විනයක් සහ අභ්‍යන්තර විගණනයක් පවත්වා ගනිමින් රාජ්‍ය විගණනයට සහය ලබාදිය යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.
එසේම කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ. පී කුරුම්බලපිටිය මහතා විසින් ජනතාවට වගවීම තහවුරු කිරීම සඳහා අභ්‍යන්තර විගණනයේ කාර්යභාර්ය පිළිබඳව දේශනයක් සිදු කළේය.
හිටපු විගණකාධිපති, කෝප් සහ කෝපා කමිටුවල උපදේශක සරත් මායාදුන්නේ මහතා විසින් ජනතාවට වගවීම කෙරෙහි රජය සතු ව්‍යාපාරවල කාර්යභාර්ය පිළිබඳව දේශන ඉදිරිපත් කරන ලදී.
රජය සතු ව්‍යාපාර ආයතනවල නිලධාරීන්ට විෂයට අදාළව ප්‍රශ්න විමසීම සඳහා ද මෙහිදී අවකාශය සැලසිණි.
අභ්‍යන්තර විගණක තනතුර අදාළ ආයතනයේ ප්‍රධානියා යටතට පත් කිරීම වෙනුවට අමාත්‍යාංශ ලේකම්වරයාට වාර්තා කරනු ලබන වඩාත් ස්වාධීන තනතුරක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි.
රජය සතු ව්‍යාපාර ආයතන 300කට ආසන්න ප්‍රමාණයක අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ මූල්‍ය අංශයේ ප්‍රධානීහු මෙම වැඩමුළුව සඳහා සහභාගී වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.








