මහ බැංකුව සහ භාණ්ඩාගාරය සම්බන්ධ ආන්දෝලනාත්මක මුදල් ගෙවීම පිළිබඳව පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මඟින් සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය චෝදනා එල්ල කරයි.
පිටු 8 කින් සමන්විත මෙම වාර්තාව මඟින් ඉහළ නිලධාරීන් ආරක්ෂා කර, වරද පහළ මට්ටමේ නිලධාරීන් සහ පරිගණක පද්ධති මත පැටවීමට උත්සාහ කර ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ මුදල් කමිටුවට පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීම මෙම වාර්තාව මඟින් පැහැර හැර ඇති බවත්, මෙය හුදු කරුණු වාර්තා කිරීමක් පමණක් බවත් නීතිඥ සංවිධානය පවසයි.
වංචාවට සම්බන්ධ බලධාරීන්ට තම වැරදි වසා ගැනීමට සහ ලේඛන සකස් කර ගැනීමට මාසයක පමණ අතිරික්ත කාලයක් ලබා දීම මඟින් මුදල් කමිටුව අගතියක් සිදු කර ඇති බවට ඔවුහු චෝදනා කර තිබේ.
දින 30 ක් ගත වී ඇතත් මහ බැංකුවේ පාලන අධිකාරිය මේ පිළිබඳව මුනිවත රකින බවත්, මහ බැංකුවේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට කමිටුව කටයුතු කර ඇති බවත් නිවේදනයේ සඳහන් වේ.
මහා භාණ්ඩාගාරය, විදේශ සම්පත් සහ ණය කළමනාකරණ යන අංශ එකිනෙකට සම්බන්ධීකරණයක් නොමැතිව ස්වාධීන පරිගණක පද්ධති තුනක් භාවිතා කිරීම මෙම අර්බුදයට හේතු වී ඇති බව මෙහි සඳහන් වේ.
මුදල් රෙගුලාසි 135 යටතේ මුදල් බලය පැවරීමේදී, ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා ලෙස මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා නිසි දැනුවත්භාවයකින් කටයුතු කර නොමැති බව ‘ෆ්‍රී ලෝයර්ස් සංවිධානය’ පවසයි.
මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක වගකීම තනි අධ්‍යක්ෂවරයෙකු වෙත පැවරීම අයහපත් පරිපාලන ව්‍යවහාරයක් බව ඔවුහු පෙන්වා දෙති.
“රජයේ අවශ්‍යතාවය වන සැබෑ අපරාධකරුවන් සැඟවීම සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව සිය නිල මුද්‍රාව ලබාදී තිබීම පිළිබඳව දැඩි කණස්සල්ල පළ කරන බව එම සංවිධානය අවධාරණය කරයි.








