ඉදිරි වසර දෙක තුළ නවක හෙද නිලධාරීන් 7,000ක් සේවයට එක්කර ගැනීමට සැළසුම්

දිවයින පුරා රෝහල් පද්ධතියේ ප්‍රධාන සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් වෙනුවෙන් සංවිධාන කරන ලද ජාතික මට්ටමේ ධාරිතා වර්ධන වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (30) පැවැත් වුණි.

කොළඹ ජාතික රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු මෙම වැඩසටහන මගින් හෙද පරිපාලනය, නායකත්වය සහ සායනික විශිෂ්ටත්වය වැඩිදියුණු කිරීම අපේක්ෂා කෙරේ.

විවිධ අභියෝග මධ්‍යයේ වුවද තම වෘත්තීය අත්දැකීම් සහ පරිණතභාවය මත රෝහල් පද්ධතිය තුළ හෙද නිලධාරීන් ලබාදෙන නායකත්වය මෙහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අගය කළේය.

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් කළමනාකරණය විධිමත් කිරීමේ පියවරක් ලෙස ඉදිරි වසර දෙක තුළ නවක හෙද නිලධාරීන් 7,000ක් සේවයට එක් කර ගැනීමට නියමිත බවත් සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීන්හි ගරුත්වය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවත්, රටේ ආර්ථිකය ස්ථාවර මාවතකට අවතීර්ණ වෙමින් පවතින පසුබිමක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් එහි දී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ජී.එම්. ජනක කිත්සිරි, චාමික එච්. ගමගේ, කේ.පී. යෝගචන්ද්‍ර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය එච්.එම්. අර්ජුන තිලකරත්න සහ හෙද අධ්‍යක්ෂිකා එම්.බී.සී. සමන්මලී යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.