පසුගිය වසරේ මැයි 25 වන දින ඉන්දියාවේ කේරළයට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට පත් එල්සා 3 (Elsa 3) නෞකාවෙන් ගිලිහුණු ප්ලාස්ටික් පබළු (Pellets) හේතුවෙන් ලංකාවේ ඩෙල්ෆ්ට් දූපතේ සිට ඒ අසල පවතින සෙසු දූපත් මෙන්ම මන්නාරම, කල්පිටිය, පුත්තලම, හලාවත, මීගමුව සහ කොළඹ සිට ගාල්ල දක්වා වූ වෙරළ තීරයන් විවිධ ප්‍රමාණවලින් දූෂණයට ලක් විය.
මෙම ප්ලාස්ටික් පබළු වෙරළ තීරයන්ගෙන් ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
මේ අතර, කල්පිටිය උච්චිමුණේ දූපතේ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු ද පසුගියදා ආරම්භ කෙරිණි. අදාළ ප්‍රදේශවල ධීවර කටයුතුවල නියැලී සිටින ජනතාව දෛනික ගෙවීම් පදනම මත මෙම පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදාගෙන ඇති අතර, ඒ අනුව දෛනිකව එම කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පවතී.
වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කිරීම සහ ඒ පිළිබඳ විශේෂ නිරීක්ෂණයක නිරත වීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා, එහි සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා, අදාළ නෞකා සමාගමේ සහ රක්ෂණ සමාගමේ නියෝජිතයින් ඇතුළු විශේෂ නිලධාරීන් පිරිසක් පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.








