අමෙරිකා – ඉරාන සටන් විරාමයේ ඉතිරි කාලසීමාව සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නැව් සඳහා “සම්පූර්ණයෙන්ම විවෘත” බව ඉරානය ප්‍රකාශ කිරීමෙන් පසු, ලෝක බොරතෙල් තෙල් මිල විශාල ලෙස පහත වැටී ඇත.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් බොරතෙල් මිල 10%කට වඩා අගයකින් පහත වැටී ඇති බවය.
ඊයේ (16) දිනය වනවිට ඩොලර් 98ක් දක්වා ඉහළ ගොස් තිබූ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 88ක් දක්වා පහත වැටී ඇති අතර, අමෙරිකානු WTI බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 84ක් දක්වා පහත වැටී ඇත.
ගල්ෆ් කලාපය අරාබි මුහුදට සම්බන්ධ කරන පටු ජල තීරුවක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය, ලොව තෙල් සහ ස්වභාවික වායුවලින් පහෙන් එකක් ප්‍රවාහනය කරන ප්‍රධාන නාවික ගමන් මාර්ගයක්ය.
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භවීමට පෙර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 70ට වඩා අඩු මිලකට අලෙවි වූ අතර, මාර්තු මාසයේදී එය ඩොලර් 119 ඉක්ම වූ උපරිමයකට ළඟාවිය.








