හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ ගම්මාන රැසකට මාස තුනක පමණ කාලයක සිට නිසි පරිදි පානීය ජලය නොලැබීම හේතුවෙන් දහසකට අධික ජනතාවක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව අප වාර්තාකරු පවසනවා.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.
එමෙන්ම, කලාතුරකින් අවස්ථා කිහිපයකදී ජලය ලැබුණද, එය මධ්‍යම රාත්‍රියේ හෝ අලුයම් කාලයේදී පමණක් සිදුවන බව ඔවුන් පවසන බවත් අප වාර්තාකරු සඳහන් කරනවා.
කිරිවත්තුඩුව, බෑන්කන්වත්ත, ගොඩපරගහහේන, ඉසුරු අරඹ, තාරකා සෙවන, ගල්කන්ද, අඹගස්හන්දිය සහ පුංචි ඉරිදා පොළ ඇතුළු ගම්මාන රැසක ජනතාව මෙම ගැටලුවට මුහුණ දී සිටිනවා.
ජලය නොලැබුණද මාසික ජල බිල්පත රුපියල් 2,000 සිට 7,000 දක්වා වූ අධික අගයන්ගෙන් නොවරදවාම නිවෙස් වෙත ලැබෙන බව ජනතාව පවසනවා.
පානය සඳහා වෙළඳසැල්වලින් ජල බෝතල් මිලදී ගැනීමට සිදුව ඇති අතර, අනෙකුත් අවශ්‍යතා සඳහා දුර බැහැර ළිංවලින් ජලය සපයා ගැනීමට සිදුව තිබෙනවා.
ඇතැම් ළිංවල ජලය මඩ පැහැයෙන් යුක්ත වුවද වෙනත් විකල්පයක් නොමැති බැවින් ඒවා පවා පරිභෝජනයට ජනතාව පෙළඹී ඇති බවයි වාර්තාකරු සඳහන් කරන්නේ.
මෙම ප්‍රදේශයට ජලය සපයන කුඹුක ප්‍රාදේශීය කාර්යාලයට සහ රත්මලාන ප්‍රධාන කාර්යාලයට අවස්ථා කිහිපයකදී පැමිණිලි කළද මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවත් ප්‍රදේශවාසින් පවසනවා.
මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කුඹුක කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කලාප තුනකට ජලය සැපයීමේදී පවතින තාක්ෂණික ගැටලු සහ අධි පීඩනයෙන් ජලය නිකුත් කිරීමට ඇති අපහසුතාව මීට හේතු වී ඇති බවයි.
කෙසේ වෙතත් ඉදිරියේදී මෙම ගැටලුව නිරාකරණය කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.







