රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ (Andrey Rudenko) අද (31) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගීවීමේ අරමුණින් ඔහු දිවයිනට පැමිණෙන බවය.
දිවයිනට පැමිණෙන රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
මේ අතර පසුගියදා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ද මෙරට සංචාරයක නිරත වූ අතර එහිදී ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් සැපයීම සම්බන්ධයෙන් රුසියාව සිය කැමැත්ත පළකරනු ලැබීය.
කෙසේවෙතත් රුසියාවෙන් තෙල් ආනයනය කිරීම වැළැක්වීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සමාජවාදී ජනතා පෙරමුණ පවසයි.
ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පන්දම් විරෝධයකට එක්වෙමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා සඳහන් කළේ, රුසියාවෙන් කඩිනමින් තෙල් ආනයනය කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවය.







