බලශක්තිය අරපිරිමැස්ම වෙනුවෙන් ජනතාව දිරිගැන්වීමට ” සුරකිමු ලංකා ” අද සිට

බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණෙන් ” සුරකිමු ලංකා ” නමින් වැඩසටහනක් අද (29) එළි දකී.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා හා ” එල්නීනෝ ” තත්ත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවට වන අනාවැකි සැලැකිල්ලට ගනිමින් මෙම වැඩසටහන පුරා මාස පහක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහිදී බලශක්ති ප්‍රභවයන් ප්‍රවේසම්කාරී ලෙස ආරක්ෂා කර ගනිමින් , අරපිරිමැස්මෙන් පරිහරණය කරන ප්‍රජාවක් දිරිගැන්වීම සඳහා මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. එහිදී රාජ්‍ය සම්පත් අතිශය අරපිරිමැස්මෙන් හා විනිවිදභාවයෙන් යුතුව පරිහරණය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පැන නැගී තිබේ.

මෙම අර්බුදකාරී අවස්ථාව කළමනාකරණය කරමින් ජාතික බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා සියලුම මහජනතාව සෘජුව දායක කරවා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” උදාකර ගැනීමේ අරමුණ පෙරදැරිව රජය විසින් මුලික වැඩසටහනක් ලෙස ආරම්භ කොට ක්‍රියාත්මක කරනු ලබන Clean Sri Lanka වැඩසටහන යටතේ සමාජීය,පාරිසරික හා ආචාරධර්මීය යන පැතිකඩ ඔස්සේ ආකල්පමය සංවර්ධනයක් තුළින් සමාජීය පරිවර්තනයක් අපේක්ෂා කෙරේ.

වර්තමාන බලශක්ති අර්බුදය හමුවේ ඊට පිළියම් සෙවීම හා පුළුල් මහජන අවබෝධයක් ඇති කරමින් බලශක්ති සුරක්ෂිතතාවය උදෙසා ආකල්පමය වෙනසක් ඔස්සේ මහජන පෙළඹවීමක් ඇති කිරීමට මැදිහත්වීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතෙ සිදු කෙරෙන මෙය කාලෝචිත ක්‍රියාදාමයකි.

ඒ අනුව, බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ බලශක්ති සංරක්ෂණය නීතියෙන් පැනවූ සීමාවකට වඩා තම මව්බිම වෙනුවෙන් ඉටුකළ යුතු පරම යුතුකමක් සේ සලකා කටයුතු කරන අභිප්‍රේරිත පුරවැසි ප්‍රජාවක් ගොඩනැගීමට මුලික අභිප්‍රාය කොට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කර්යාලය, විසින් සියලුම රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, සිවිල් සමාජය හා සමස්ත ජනතාව සහභාගී කර ගනිමින් “එකතු වෙමු – එළිය දෙමු” තේමාව යටතේ “සුරකිමු ලංකා” බලශක්ති සුරක්ෂිතතාවය උදෙසා වන මහජන පෙළඹවීමක් ඇති කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා විය.

ඒ අනුව, ජනයා වැඩි වශයෙන් විදුලිය පාවිච්චි කරන සවස 6.00 සිට 10.00 දක්වා වන ” උපරිම පාරිභෝජන කාලසීමාවේ දී විදුලිය ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ක්‍රියාකාරකමි යමි තරමකට සීමා කිරීම හෝ ඒවා හැකිතාක් දුරට දිවා කාලයේදී සිදුකිරීමට ජනතාව පෙළඹවීම ” සුරකිමු ලංකා ” වැඩසටහන යටතේ සිදු කෙරේ.

මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා , රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන ගණනාවක සහය ලැබෙි. ” සුරකිමු ලංකා ” වැඩසටහන යටතේ ඉතා පුළුල් මාධ්‍ය ප්‍රචාරක වැඩපිළිවෙලක් සිදු කරන අතර, රටේ සියලු ක්ෂෙත්‍ර වල සේවයේ නියැලි කොටස්වල සහය ඊට ලබා ගැනීමට නියමිතය. විදුලි බලය, වැඩි වශයෙන් උත්පාදනය කෙරෙන්නේ, ජලාශ්‍රිත ඇසුරින් වන බැවින් ඉදිරියේදී ජල පරිභෝජනය ද අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කළ යුතු වෙි.

” සුරකිමු ලංකා ” වැඩසටහන මගින් විදුලි පරිභෝජනය සඳහා තහංචි පැනවීමට අදහස් නොකෙරේ. දිරි ගන්වනු ලබන්නේ විදුලි බලය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කිරීමට ජනතාව පෙළඹවීමයි.