හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ආහාර මිල ගණන් ඉහළ ගොස් වඩාත් බලපෑමට ලක්විය හැකි රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පර්යේෂණ වාර්තාවකින් අනාවරණ වී තිබේ.
ජර්මනියේ කියෙල් ආර්ථික පර්යේෂණ ආයතනය සිදුකළ මෙම පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ ආහාර, ඖෂධවල සිට ස්මාර්ට්ෆෝන් දක්වාම භාණ්ඩ රැසක මිල ගණන් මෙලෙස ඉහළ යා හැකි බවය.
එම පර්යේෂණයට අනුව ආහාර මිල ඉහළ යාමෙන් වඩාත් බලපෑමට ලක්විය හැකි රටවල් අතර දෙවැනි තැන ඇත්තේ ශ්‍රී ලංකාවයි.
එය ප්‍රතිශතාත්මක වශයෙන් 15%ක වර්ධනයක් බවද සඳහන්.
එම දරුණු බලපෑමට ලක්වන රටවල් අතර පළමු තැන සැම්බියාව (31%) වන අතර තායිවානය (12%), පකිස්තානය (11%) සහ ඉන්දියාව (10%) ඇතුළු රටවල් ද ඊට අයත් වේ.
ඉන්ධන ගෑස් ඇතුළු බලශක්ති සහ පොහොර ආනයනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම ආහාර මිල බලපෑමට දැඩිව ලක්වන බව ද එහි සඳහන් වේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් නැවත විවෘත කළ ද ආහාර සුරක්ෂිතතාවට එල්ල වන බලපෑම බොහෝ කාලයක් පවතිනු ඇති බව Kiel ආයතනයේ පර්යේෂකයින්ගේ පුරෝකථනය වේ.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා දැමීමෙන් ගෝලීය තිරිඟු පිටි මිල 4.2%කින් සහ පලතුරු සහ එළවළු මිල 5.2%කින් ඉහළ යා හැකි බව ද අනාවරණ වී තිබේ.
හෝමූස් අවහිරතාවයේ ප්‍රතිවිපාක ලෙස ස්මාර්ට්ෆෝන්වල සිට දත්ත මධ්‍යස්ථාන දක්වා වන අතිනවීන තාක්ෂණික උපකරණ රාශියක මිල ඉහළයාමක් සිදුවිය හැකි බවට විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබුණි.
හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇති වූ බාධාව හේතුවෙන් ඖෂධ මිල ඉහළ යාමේ හැකියාව පිළිබඳ ඇතැම් විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත.
අමෙරිකා – ඊශ්‍රායල – ඉරාන යුද්ධය තුළ එම බල අරගලය දැන් කේන්ද්‍රගත වී ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය මතය.
ලොව අතිශය වැදගත් නැව් ගමනාගමන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමූ බවත් ඒ හරහා යාමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ඉරානය ඊයේ (27) නිවේදනය කළේය.
ලොව ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් 20%ක් පමණ සිදුවන හෝමූස් සමුද්‍ර සන්ධිය මෙලෙස අවහිර වීම තුළ ලෝකයට දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදු වේ.
ඒ අනුව ගෝලීය ඉන්ධන හා ගෑස් මිල ඉහළ යාම මේ වන විටත් දැකගත හැකියි.
එම බලශක්ති මිල ඉහළ යාම තුළ සෙසු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම වැළැක්විය නොහැකි කරුණකි.







