වංචනික SMS පණිවුඩ ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

පාර්සලයක් ලබාගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බවට දන්වා SMS පණිවුඩයක් එවන බවත්, එම මුදල මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ ගෙවන ලෙසට පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත්, ඒ ආකාරයෙන් මෙම වංචාව සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම වංචනික ක්‍රියාවලිය යටතේ, පාරිභෝගිකයන් විසින් Payment Gateway හරහා තම බැංකු කාඩ්පතෙහි තොරතුරු ඇතුළත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කරගැනීමට එම වංචාකරුවන් කටයුතු කරන බවයි තැපැල්පති ආර්.පී. සත්කුමාර ප්‍රකාශ කර සිටියේ.

මෙම වංචාකාරි කෙටි පණිවුඩ සබැඳි (links), ව්‍යාජ වෙබ් අඩවි සහ මාර්ගගත ගෙවීම් ඉල්ලීම් පිළිබඳව මහජනයා සැලකිලිමත් විය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

නොහඳුනන සබැඳි (links) වෙත ප්‍රවේශ නොවන ලෙසත්, තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශ්වයකට හෝ වෙබ් අඩවිවලට ලබා නොදෙන ලෙසත් තැපැල්පති ආර්.පී. සත්කුමාර වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.