අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය ගැන නිවේදනයක්

අඹේපුස්ස – අලව්ව අතර බුජ්ජොමුව පාලම ස්ථිරව සවි කිරීම සඳහා දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අප්‍රේල් 1 සිට 5 දක්වා අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා කරන බවය.

මෙම ස්ථානයේ පැවති පැරණි ගඩොල් ආරුක්කු බෝක්කුව “දිට්වා” සුළි කුණාටුවෙන් සිදුවූ හානි හේතුවෙන් කැඩී යාමත් සමඟ මාර්ගය යටින් අඩි 45ක් පමණ කුහරයක් ඇතිවීමෙන්, මේ දක්වා තාවකාලික පාලමක් යොදා දුම්රිය ධාවනය පැයට කිලෝමීටර් 10ක වේග සීමාවක් යටතේ සිදුකර තිබුණි.

ඒ අනුව, අප්‍රේල් 1 සිට 4 දක්වා දිනවල කොළඹ කොටුව – රඹුක්කන දුම්රිය දෙකක් අඹේපුස්ස දක්වා සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

මේ අතර අතර, අප්‍රේල් 2 දිනට අදාළව කොටුව – රඹුක්කන දුම්රිය දෙකක්ද අවලංගු කිරීමටද පියවර ගෙන ඇත.

මෙම කාලය තුළ කොළඹ කොටුව සිට රඹුක්කන, මහව, ත්‍රිකුණාමලය හා මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය ප්‍රමාද විය හැකි බවද දැනුම් දී තිබේ.

සිදුවන අපහසුතාවයන් පිළිබඳව මගී ජනතාවගෙන් කණගාටුව පළ කරමින්, මෙම තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.