රුපියල් 4,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් අක්කරපත්තුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
පැමිණිලිකරු පදවන ලද යතුරුපැදියෙන් ඔහුගේ මව ඇද වැටී සිදු වූ අනතුරක් සම්බන්ධව 119 අංකයට පැමිණිල්ලක් ලැබී ඇති බව පවසා, මවගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන ඒ සඳහා නීති මඟින් කටයුතු නොකර සිටීමට සහ එහිදී භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.
එහිදී ඔහු රුපියල් 5,000 ක මුදලක් ඉල්ලා, ඉන් රුපියල් 1,000 ක මුදලක් ලබාගෙන රියදුරු බලපත්‍රය ලබා දී තිබෙන බවත්, අනතුරුව මවගෙන් නැවත ප්‍රකාශයක් ලබා නොගෙන, 119 පැමිණිල්ල ඉවත් කර, නීති මඟින් කටයුතු නොකර සිටීමට ඉතිරි රුපියල් 4,000 ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.
එම මුදල ඊයේ පෙ.ව. 10.12 ට පමණ අක්කරපත්තුව රෝහල තුළදී ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.








