දින 90ක රැඳවුම් නියෝග මත පරීක්ෂණ පවත්වන හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ විසින් නිරීක්ෂණය කර තිබෙනවා.
ඒ සඳහා මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ගොස් තිබුණා. එහිදී ඔහුගේ අවශ්‍යතා විමසා ඒ පිළිබඳ නියෝග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
මේ අතර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ ඇප මත මුදා හැර තිබුණා.
2012 – 2014 කාලසීමාව තුළ රුපියල් විසි අට ලක්ෂ පනස් තුන්දහස් නවසිය තිස්පහක මුදලක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නීති විරෝධීව ඉන්ධන දීමනා ලෙස ගෙවීමේ චෝදනා මත මොහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබුවා.
එමෙන්ම අයථා ලෙස රුපියල් ලක්ෂ 2400 ට අධික වත්කම් රැස්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළ අතර ඔහු මේ මස 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.







