ශ්‍රී ලංකාවේ නීතිඥයන් සහ මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් මතුව ඇතැයි විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ජාත්‍යන්තර වෘත්තීය සංවිධාන වෙත ලිපියක් යොමු කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාඨලි චම්පික රණවක, ජිවන් තොන්ඩමන්, නිමල් සිරිපාල ද සිල්වා, අසංක නවරත්න, දිලිත් ජයවීර ඇතුළු පක්ෂ නායකයින් හා විපක්ෂයේ නියෝජිතයින්ගේ අත්සන් සහිතව යොමු කර ඇති මෙම ලිපියේ මෑතක දී මෙරට සිදු වූ වෙඩි තැබීම් සහ ඝාතන නිසා සමාජයේ කම්පනයක් ඇති වී තිබෙන බව සඳහන් වෙයි.
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිය ඝාතනය වීමෙන් පසුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය උසාවි කටයුතුවලින් ඉවත් වෙමින් ඊට විරෝධතාව දැක්වූ බව ද එහි පෙන්වා දී ඇත.
මිට අමතරව නීතිඥයින්ට එල්ල වන තර්ජන සහ ප්‍රහාර, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට ඇති බලපෑම, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එල්ල වන තර්ජන ඇතුළු කරුණු ගණනාවක් අවධාරණය කර ඇත.
දශක ගණනාවක් තිස්සේ මෙරට ආරක්ෂා වූ ප්රජාතන්ත්රවාදය ඉදිරියටත් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු මැදිහත් වීම් කරන ලෙස ද ජාත්‍යන්තර නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම, තරුණ නීතිඥයින්ගේ ජාත්‍යන්තර සංගමය, ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී නීතිඥ සංගමය, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, හියුමන් රයිට්ස් වොච්, මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය, වධහිංසාවට එරෙහි
ලෝක සංවිධානය ඇතුළු සංවිධාන වෙත යොමු කර ඇති මෙම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර
ඇත.
රන්මලී සෝමසිරි







