ජනතාවගේද දායකත්වය ලබාගනිමින් බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට ඊයේ (23) උපදෙස් දුන්නේය. මෙරට දෛනික බලශක්ති පරිභෝජනය වැඩිම කාලපරාසය වන පස්වරු 6.00 සිට 10.00 දක්වා කාලය තුළ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කරමින්, ඔවුන්ගේද දායකත්වය ඇතිව මේ ක්‍රියාමාර්ග ගන්නැයිද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් තවදුරටත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබැලීමට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට ඊයේ (23) පෙරවරුවේ එක්වෙමිනි.
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටක්ම මුහුණදී ඇති බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යෑමේ අභියෝගය හමුවේ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කරමින් රට හමුවේ ඇති අභියෝගය ජය ගැනීමට උපරිම දායකත්වය ලබාදීම ආයතනික සහ පුද්ගලයන් වශයෙන්ද මේ වන විට සියලු දෙනා වෙත පැවරී ඇති වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය සති කිහිපය තුළ බලශක්තිය කළමනාකරණය පිළිබඳ රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රායෝගික තලයට ගෙන එමින් විශේෂයෙන් රාජ්‍ය සේවාවට ලබා දිය යුතු මාර්ගෝපදේශ පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. එමෙන්ම, පළාත් පාලන ආයතන මට්ටමින් බලශක්ති පරිභෝජනය විධිමත් කළමනාකරණයකට ලක්කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එම ආයතන සමඟ සාකච්ඡා කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැය වේ. එය සීමා කිරීමෙන් රටේ විදුලි පරිභෝජනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බවද මෙහිදී සඳහන් කෙරිණි. නාගරික වශයෙන් පවතින අත්‍යවශ්‍ය නොවන වීදි ලාම්පු භාවිතය අවම කරගැනීම සහ බලශක්තිය කළමණාකරණය වෙනුවෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.
ඊට අදාළව අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේදයක් පිළිබඳ අදාළ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර කඩිනම් ක්‍රියාමාර්ගයකට එළැඹීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
උපාලි කරුණාරත්න







