මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සැකකාරියක් මන්නාරමේ දී අත්අඩංගුවට ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇත.
මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයෙකු උපයාගත් දේපළ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙයි.
2019 වසරේ සිට 2023 වර්ෂය දක්වා කාලය තුළ දකුණු ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එමගින් උපයාගත් මුදල්වලින් දෙමහල් නියසක් , කඩකාමර පහකින් යුත් නිවසක් , මෝටර් රථයක් හා රන්පවුම් 360කට ආසන්න ආභරණ ප්‍රමාණයක් උපායගෙන රන් භාණ්ඩ උකස් කර විකුණා ඇති බවට පැමිණිල්ලක් කර ඇත.
ඒ අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබෙයි.
පැමිණිල්ලට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු නිවාස දෙක හා මෝටර් රථ සම්බන්ධයෙන් මන්නාරම මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.
එම දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියෝග ද ලබා ගෙන ඇත.
රන් භාණ්ඩ සම්බන්ධයෙන් සිදුකරන දීර්ඝ විමර්ශනයේදී සැකකරුගේ බිරිඳගේ මව විසින් මූල්‍ය ආයතන කිහිපයක රන් භාණ්ඩ උකස් කර පසුව මන්නාරම ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැල් කිහිපයකට රන් භාණ්ඩ විකිණීම සිදුකර ඇති බවට විමර්ශනයේ දී අනාවරණ වී තිබෙයි.
ඒ අනුව සැකකරු නීති විරෝධී ක්‍රියාවලින් උපයාගත් රන් භාණ්ඩ බව දැනුවත්ව තිබියදීත් ඒවා උකස් කිරීම හා විකිණීම සිදු කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදවල් සිදු කිරිම සම්බන්ධයෙන් මෙම සැකකරුගේ බිරිඳගේ මව මන්නාරමේදී අත්අඩංගුවට ගැනුණි.
සැකකාරිය වයස අවුරුදු 66ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.







