QR කේතය මඟින් නැවත වරක් තෙල් කෝටාවක් ලෙස නිකුත් කිරීමෙන් පරිභෝජනය අඩු වී කලකිරීම වැඩිවී ආර්ථික ගැටලු රැසක් අනිවාර්යයෙන්ම නිර්මාණය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ කෑගල්ලේදී පැවති විවෘත කිරීමේ උත්සවයකට ඊයේ (15) සහභාගි වෙමිනි.
මේ අවස්ථාවේ නිර්මාණය වී ඇති අර්බුදයෙන් සමගි ජනබලවේගය පටු වාසි ලබා නොගන්නා බව කී විපක්ෂ නායකවරයා, මෙවැනි තත්ත්වයක් නිර්මාණය වන බවට දිගින් දිගටම පැවසූ අවස්ථාවේ රජයේ මැති ඇමැතිවරුන් හිනා වී එය උපහාසයට නැඟූ බවත් කීවේය.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී හෝර්මූස් සමුද්‍ර සන්ධියේ නිර්මාණය වන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පැවසූ අවස්ථාවේ රටේ ගැටලුවක් නැතැයි පැවසූ බව ද කීවේය.
ඇත්තටම අප රටට ගැටලුවක් නැත්නම් මේ ආකාරයට QR කේත නිකුත් කිරීම අවශ්‍යද, එදා තමා මේ ගැන කියන විට රජය ඒවා නොසලකා හැරි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුව මේවාට උසුළු විසුළු කරන විට රටේ සුළු පිරිසක් මේවා උපහාසයට නැගූවත් එසේ උපහාස කර දින 12ක් යන්නටත් පෙර QR කේතය නිකුත් කිරීමට රජයට සිදුවූ බවත් හෙතෙම කියා සිටියේය.
රක්ෂණ ශ්‍රියන්ත







