මේ වසරේ මුල් මාස 02 තුළ රටවිරු සුබසාධනයට කාර්යාංශය ලක්ෂ 962ක් වැය කරයි

2026 වර්ෂයේ ගතවූ මාස 2ක කාලය තුළදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් ප්‍රතිලාභීන් 5938 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 962 ක මුදලක් වැය කර තිබේ.

විදේශ රැකියා සඳහා පිටත්ව යාමට පෙර කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී නොමිලේ රක්ෂණාවරණයක් හිමිවන අතර, ඒ යටතේ ශ්‍රමිකයින් 116 දෙනෙකු සඳහා රු.මි.39.76 ක ප්‍රතිලාභ මේ වසර තුළදී කාර්යාංශය විසින් ලබාදී තිබේ. එසේම විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක්ද කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ යටතේ දරුවන් 5774 දෙනෙකු සඳහා රුපියල් මිලියන 55.63 ක් වටිනා පාසල් උපකරණ 2026 වසරේ ගතවූ මාස 2 ක කාලය තුළදී කාර්යාංශය විසින් ප්‍රදානය කර තිබේ.

එසේම විශේෂ අවශ්‍යතා හඳුනාගත් දරුවන් 34 දෙනෙකු වෙනුවෙන් රු.660,000.00 ක ආධාර හා විගමණික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 14 දෙනෙකුගේ වෛද්‍ය සහාය වෙනුවෙන් රුපියල් 248,000.00 ක මුදලක්ද කාර්යාංශය මගින් ප්‍රදානය කරන තිබේ.

රටට වැඩිම විදෙස් විනිමය ප්‍රමාණයක් ලබාදෙනු ලබන විගමණික ශ්‍රමිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් කාර්යාංශය විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර, විදේශ ගත ශ්‍රමිකයෙකුගේ මරණකදී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ලබාදෙනු ලබන වන්දි මුදල් ප්‍රමාණයද රුපියල් ලක්ෂ 6 සිට රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමටද කාර්යාංශය පියවර ගෙන ඇත.