රුපියල් ලක්ෂ 400 ක් වටිනා බටුවත්ත චාමරගේ බිරිඳගේ නිවසක් සඳහා තහනම් නි‍යෝග

ගනේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන, දැනට විදෙස්ගතව සැඟව සිටින මනෝජ් සුරංග නොහොත් ‘බටුවත්ත චාමර’ යන අයගේ බිරිඳට අයත් බව කියන සුඛෝපබෝගී නිවසක් දින 07 ක කාලයක් සඳහා තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා.

ජා ඇළ, වැලිගම්පිටියේ පිහිටි මෙම නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 400 ක් වන අතර, බටුවත්ත චාමර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදලින් මෙම නිවස මිලදීගෙන ඇති බවට සාධාරණව විශ්වාස කිරීමට තරම් කරුණු අනාවරණ වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම නිවස වෙනත් පිරිසක් විසින් මීට මාස දෙකකට පමණ පෙර කුලී පදනම මත මිලට ගෙන වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන ගොස් තිබුණු අතර, බටුවත්ත චාමර යන අයගේ බිරිඳ මීට පෙර මෙම නිවසේ පදිංචිව සිට ඇති බවත්, අවස්ථා තුනකදී මෙම නිවස ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම් සිදුවී ඇති බවත් වාර්තා වනවා.

මෙම දේපළ සම්බන්ධයෙන් මහාධිකරණය වෙත කරුණු වාර්තා කර තහනම් කිරීමේ නියෝගය දීර්ඝ කිරීමට කටයුතු කරන බවයි නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය ප්‍රකාශ කර සිටියේ.