පසුගිය දිනෙක කිතුල්ගල ප්‍රදේශයේදී අනාරක්ෂිත ප්‍රවාහනය හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කරන ලද භූමිතෙල් ලීටර් 4,000ක් මුදා හැරීමට රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (12) නියෝග කර තිබෙනවා.
ඒ ලීටර් 4,000ක් පමණ වන එම භූමිතෙල් තොගය රජයේ බලපත්‍රලාභී තාර නිෂ්පාදනය කරන ආයතනයකටයි.
එම භූමිතෙල් තොගය අයත් ආයතනයට ‘කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය – සබරගමුව’ විසින් නිකුත් කරනු ලැබූ ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නිර්දේශ ලිපියක් සතුව තිබී ඇති අතර, එම ලේඛන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අදාල ලේඛන සහ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් ලීටර් 4,000ක භූමිතෙල් තොගය නැවත මුදා හැර තිබෙනවා.
පොලිසිය විසින් මෙම සිද්ධියට අදාලව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ‘අනාරක්ෂිත ප්‍රවාහනය’ යන චෝදනාව සම්බන්ධයෙන් එම ආයතනය නිවැරදිකරුවන් බවට අධිකරණයේදී සඳහන් කර තිබුණා.
භූමිතෙල් ලීටර් 4,000ක් ටැංකි 4ක පටවා කෑගල්ල දක්වා රැගෙන යාමට උත්සාහ කිරීමේදී කිතුල්ගල පොලිසිය විසින් ලොරි රථය, ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා සැකපිට අත්අඩංගුවට ගෙන රියදුරා සහ රිය සහයකයා එදිනම පොලිස් ඇප මත මුදාහැර තිබුණා.
පසුව ඊයේ (12) දින රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.







