ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුතු ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් රජය මේ වන විට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
නිසි ප්‍රමිතියෙන් යුතු බස් රථ අලුතින් ධාවනයට එක් කිරීමට සහ පැරණි බස් රථ ක්‍රමානුකූලව ප්‍රවාහන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා වූ සැලසුම් රජය මේ වන විට සකස් කරමින් තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා, එය එකවර සිදු කළ නොහැකි කාර්යයක් වුවත් වසර කිහිපයක් සැලසුම් සහගතව කටයුතු කිරීමෙන් රජයේ ප්‍රධාන ඉලක්කයක් වන ගුණාත්මක බස් රථ සංචිතයක් මෙරට ජනතාවට හිමි කර දීමට හැකියාව ලැබෙන ඇතැ’යි සඳහන් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි බඳවාගත් නවක රියදුරු මහතුන් 199ක් සහ කොන්දොස්තර මහතුන් 342ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක් වෙමින්.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ අතීතයේදී මෙරට ජනතාව තුළ තිබූ ඓන්ද්‍රීය බැඳීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, පසුකාලීනව දේශපාලන පත්වීම් සහ විවිධ අයථා ගනුදෙනු හේතු කර ගෙන බිඳ වැටීමට ලක් වූ ලංගමය ශක්තිමත් පොදු ප්‍රවාහන සේවාවක් ලෙස යළි ගොඩනැඟීමට අද දින පත්වීම් ලැබූ සියලු දෙනා තම වගකීම් ඉටු කරනු ඇතැ’යි විශ්වාසය පළ කරමින් නවක පත්වීම්ලාභී සියලු දෙනා වෙත සුබපැතුම් එක්කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.








