සිර දඬුවමට එරෙහිව මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගය අද ආරම්භ වෙයි

සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මීට ස්වල්ප වේලාවකට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට රැගෙන විත් ඇති බවයි සඳහන් වන්නේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවමක් ද, නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25 ක සිර දඬුවමක් ද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කර තිබුණා.

එම දඬුවම්වලට එරෙහිව ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන අතර, එම අභියාචනා විභාගය අද ඇරඹීමට නියමිතයි.

ඒ සඳහා මෙම විත්තිකරුවන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.