අණ නොතකා ගිය ලොරියකට පොලිස් වෙඩි: අයෙකුට තුවාල

නාල්ල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

තුවාලකරු රථයේ රියැදුරු බවත් ඔහුගේ වම් අතේ උරහිසට පහළින් වන්නට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ.

අද (25) පාන්දර මෙම වැඩ් තැබීම සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

නාල්ල පොලිස් නිලධාරීන් පිරිසක් ත්‍රීරෝද රථ මුර සංචාරයේ යෙදී සිටි‍යදී තලහේන වත්ත මාර්ගයේ ලොරි රථයක් නවතා තිබෙනවා දැක ඒ අසලට ගොස් තිබුණා.

එහිදී ලොරි රථයේ පිටුපස සිටි අයෙකු විසින් පොලිසියට යම් ආයුධයකින් පහර දෙනවාත් සමගම ලොරි රථය පලායාමට උත්සාහ කර තිබෙන අතර එහිදී වෙඩි තැබීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

තුවාලකරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවයි පොලිසිය පැවසුවේ.

මේ අවස්ථාවේ තවත් සැකකරුවන් හතර දෙනකු පලා ගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම ලොරි රථයේ ගවයන් පස්දෙනෙකු පටවා තිබුණු බවද පොලිසිය සඳහන් කරනවා.

සැකකරුවන් ගවයින් සොරකමේ ගිය පිරිසක් බවට සැකකරන බවයි පොලිසිය පවසන්නේ.