යොවුන් සේනාංකයේ උපදේශකයින්ගේ වැටුප් ගැටලුවට විසඳුම්

ජාතික යොවුන් සේනාංකයේ පැය පදනම මත රාජකාරී සිදු කරන උපදේශකයින්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසඳුම් ලබාදී තිබේ.

ඒ අනුව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඊයේ (22) එම උපදේශකයින් හමු විය.

එම හමුව ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ දී පැවැත් විය.

2016 දී ජාතික යොවුන් සේනාංකයට උපදේශකයින් බඳවා ගැනීමේ දී ඔවුන්ට ලබා දී තිබුණේ පැය 5ක දිනක සේවා කාලයක් වෙනුවෙන් රුපියල් 2000ක දෛනික වැටුපකි. එය මේ දක්වා වැඩි කර නොමැත. පවතින ජීවන වියදම සහ උපදේශකයන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම මාසයේ සිට එම මුදල 2/3කින් එනම් රුපියල් 1500කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව මේ මාසයේ සිට ඔවුන් සඳහා දෛනිකව රුපියල් 3500ක දීමනාවක් ලබා දෙයි.

මෙම හමුවේදී තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මානසික තෘප්තියකින් රාජකාරී කටයුතු සිදු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කර, වඩාත් ඵලදායී සහ ගුණාත්මක සේවාවක් ලබාගත හැකි බව විශ්වාස කරන බවයි. එමෙන් ම එමගින් වත්මන් ආණ්ඩුවේ අරමුණ වන අනාගතයට ගැලපෙන, නවීන , සහකම්පනයෙන් යුත් තරුණයෙක් නිර්මාණය කිරීමේ කාර්‍ය වඩාත් හොඳින් ඉටු වේ යැයි විශ්වාස කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වෙනත් ආණ්ඩු දිට්වා සුළි කුණාටුව වැනි තත්ත්වයන්ට මුහුණ දුන් පසු ඒ මත පදනම්ව ජනතාවට ලබා දෙන සහන, වැටුප් වර්ධක ආදිය කප්පාදු කළ ද වත්මන් ආණ්ඩුව තවදුරටත් ජනතාවට සහන ලබාදෙමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පල මහතා, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණි වික්‍රමපාල මහතා, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අංජන සම්පත් අමරසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් එක්ව සිටියහ.