පෙළ‍ පොත් ගබඩා සංකීර්ණයේ නේවාසිකාගාරයේ සේවකයකු අභිරහස් ලෙස මිය ගිහින්

හෝමාගම පිටිපන පෙළ පොත් ගබඩා සංකීර්ණයේ නේවාසිකාගාරයේ දී එහි සේවකයකු පෙරේදා (18) අභිරහස් ලෙස මියගොස් සිටි බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, බෝපේ, උඩගම්කන්ද අංක 16 හි පදිංචිව සිටි හේවාදේවගේ ඉෂාර සංජීව (42) නමැති පෙළ පොත් ගබඩා සංකීර්ණයේ වෙළඳ සහයකයෙකු බව පොලීසිය සඳහන් කරනවා.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හෝමාගම පිටිපන පිහිටි පෙළපොත් ගබඩා සංකීර්ණය පිටුපස පිහිටි එහි නේවාසිකාගාරයේ ඉකුත් (18) දා රාත්‍රි සේවකයින් තිදෙනෙකු සිට ඇති අතර ඉන් සේවකයකු මෙසේ මියගොස් තිබුණා.

මෙම සේවකයා එදින උදෑසන සිට මත්පැන් පානය කොට සිට ඇති අතර රාත්‍රි නේවාසිකාගාරයේ බිම නිදා සිටියදී අනිත් සේවකයින් දෙදෙනා ඔහුව අවදි කිරීමට යාමේදී ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා සැක සිතී 119 හදිසි ඇමතුම් අංකයට දන්වා පොලිසිය කැඳවා තිබූ බව සඳහන්.

එහිදී පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කොට හෝමාගම හදිසි මරණ පරීක්ෂකවරයා කැඳවා ස්ථානීය පරීක්‍ෂණය සිදුකොට තිබුණා.

පසුව මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම රෝහලට රැගෙන යන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට දැනුම් දී තිබෙනවා.