ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන් සඳහා ලබා දෙන මූල්‍ය සහන ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ‘RE-MSME – ආපදා සහන’ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-12-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ආපදාවෙන් බලපෑමට ලක් වී ඇති මහා පරිමාණ ව්‍යවසායයන් ඇතුළු සියලුම ව්‍යවසායයන් වෙත ප්‍රතිලාභ ලබා දීමට හැකි වන පරිදි සහ පෞද්ගලික බැංකු ද දායක කර ගනිමින් එකී ණය යෝජනා ක්‍රමය වැඩිදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ සියලු ව්‍යවසායයන්ට මාස 06 ක සහන කාලයක් සහිතව වසර 03 කින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000 ක්, සුළු පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01 ක් සහ මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 25 ක් දක්වා වාර්ෂිකව 3% ක පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු මඟින් කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබා ගැනීමට හැකි වන පරිදි ‘විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමය’ නමින් ණය යෝජනා ක්‍රමයක් සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

 news images