නැවත දැනුම් දෙන තුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින්න

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී තිබෙනවා.

එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇත.

නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.

ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වල ඉතා තද වැසි පැවතිය හැක.

සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට උතුර දක්වා වන දිශා වලින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා ඉහළ යා හැක.

මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැක.

පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 4.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.