ආදායම් බදු වාර්තා භාරදීම මේ මාසෙන් අවසන්: නොදුන්නොත් නීතිමය පියවර

2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා මාර්ගගතව (online) භාර දීමේ අවසන් දිනය ලබන 30 වැනිදායින් අවසන් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයින් සහ ව්‍යාපාර නියමිත දිනට පෙර මෙම වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.

නියමිත කාල සීමාව තුළ බදු වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

එහිදී දඬුවම් වශයෙන් දඩ මුදල්, ප්‍රමාද සඳහා පොලී අය කිරීම, ආදායම් බදු විගණනවලට ලක්වීමේ හැකියාවද පවතිනවා.

මෙම මාර්ගගත බදු වාර්තා ගොනු කිරීමේ අවශ්‍යතාවය සියලුම කාණ්ඩවලට අයත් බදු ගෙවන්නන් සඳහා අදාළ වන බව සඳහන්.

ඊට තනි පුද්ගල , සංස්ථා, හවුල් ව්‍යාපාර සහ වෙනත් ලියාපදිංචි ආයතන යටතේ සිටින සියළු දෙනා අයත්.

මෙහිදී එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගේ e-filing සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවයි.

බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී යම් ගැටළුවක් ඇත්නම් : 1944 අංකයට අමතා උපදෙස් ලබාගත හැකියි.

ආදායම් බදු වාර්තාව නියමිත කාලයට පෙර භාර දීමෙන් නීතිමය ගැටලුවලින් සහ දඩ මුදල්වලින් වැළකී සිටීමට හැකි බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.