තංගල්ල මුහුදේ දී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

තංගල්ලට ආසන්න මුහුදු තීරයේදී අයිස් හා හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 376කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ලබන මස 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ඇතුළු සැකකරුවන් 7කට එරෙහිව මෙම නියෝගය ලබා දුන්නේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබීය.

එහිදී දින 7ක රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්නකළ මෙම සැකකරුවන්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන අවසන් වී නොමැති බවත්, ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාව කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා ලද බහුදින ධීවර යාත්‍රාවේ GPS යන්ත්‍රය  මිනින්දෝරු දෙපාර්තමේන්තුවට යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත්, අදාළ මත්ද්‍රව්‍ය සමග තිබූ ගිනිඅවි 2ක් රජය රසපරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තංගල්ලට ආසන්න මුහුදේ නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 115ක් සහ අයිස් කිලෝග්‍රෑම් 261ක් සොයගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකිවිය.

එම සිද්ධියට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව සිටී.