ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ බණ්ඩාරනායක අනුස්මරණ පොදු පුස්තකාලය ඉදිරිපිටදී තමන් රන්මල් කොඩිතුවක්කුගේ නංගී යැයි පවසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරීව හැසිරුණු කාන්තාව අද (03) යළි ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථය නතර කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන්ගේ අණ නොතකා රිය ධාවනය කළ ඇය උඩුගම්පොළ, මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් තුසිත සෙනරත් මහතා ඇය අද (03) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
මෙසේ බන්ධනාගාරගත කර සිටියේ කොළඹ 5, තිඹිරිගස්යාය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවකි. සැකකාර කාන්තාව උඩුගම්පොළ ප්‍රදේශයේදී රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සිදු කළ අයුතු අවහිරය ඇතුළු චෝදනා කිහිපයක් ඔස්සේ අත්අඩංගුවට ගෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ඇයට වාහනය නතර කරන ලෙස සංඥා කළ ද එම පොලිස් අණ නොතකා පලා ගොස් ඇති අතර, පොලිස් නිලධාරීන් ඇය ලුහුබැඳ ගොස් උඩුගම්පොළදී නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ ගන්නා අවස්ථාවේ මේ කලහය සිදුව තිබේ.
මේ කාන්තාව රථවාහන නීති කඩකරමින් වාහනය ධාවනය කළ බවටත්, පරීක්ෂා කිරීමට යෑමේදී කලහකාරීව හැසිරුණු බවටත් පොලීසිය අධිකරණයට කරුණු දක්වා ඇත.
එහිදී ඇය තමන් රන්මල් කොඩිතුවක්කුගේ නංගි යැයි පවසමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරන අයුරු සමාජ මාධ්‍යවල ද දැක්වේ. තමන් කිසිදු වරදක් කර නොමැති බවත්, සියලු ලියකියවිලි තමන් සතුව ඇති බවත් පවසමින් ඇය තම රියැදුරු බලපත්‍රය පොලිස් නිලධාරියාගෙන් උදුරා ගන්නා ආකාරය ද එම වීඩියෝවල දැක්වේ.
මෙහිදී මාර්ගයේ සිටි පිරිස් ද ඇයට විරෝධය පළ කරන අතර, ඇය ඒ නොතකා මෝටර් රථයට නැඟී පිටව යෑමට උත්සාහ ගන්නා අයුරු ද වීඩියෝවල දැක ගත හැකිය.
මේ සම්බන්ධයෙන් ගම්පහ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතාගෙන් දිනමිණ කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ ඥාතියකු නොවන බවයි.
ගම්පහ පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.







