‘Air Japan’ ලබන වසරේ සිට නවතී

ජපන් ගුවන් සේවා සමූහයක් වන ANA (All Nippon Airways), සිය අඩු වියදම් ගුවන් සේවා සන්නාමයක් වන Air Japan හි සියලුම ගුවන් මෙහෙයුම් 2026 වසරේ මාර්තු මාසයේ සිට නවතා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආසියානු මාර්ගවල අඩු වියදම් ගුවන් ගමන් සැපයීම සඳහා මෙම සන්නාමය දියත් කර වසර දෙකකට පමණ පසුව මෙම තීරණය ගෙන ඇති අතර, Air Japan ගුවන් සේවයේ අවසාන ගුවන් ගමන 2026 මාර්තු 29 වන දින පෙ.ව. 12.55 ට සිංගප්පූරුවේ සිට නරිටා ගුවන් තොටුපළ දක්වා සිදු කිරීමට නියමිත බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

ANA සමූහය පසුගිය 30 වැනිදා නිවේදනය කර තිබුණේ, එහි සමූහ සන්නාම උපායමාර්ගය ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සාහ කරන බැවින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, ANA සමූහය යටතේ ANA (All Nippon Airways), Peach සහ Air Japan යනුවෙන් සන්නාම තුනක් පවතින අතර, මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ANA සමූහයේ ගුවන් ගමන් මෙහෙයුම් වෙළඳ නාම දෙකකට ඒකාබද්ධ කෙරෙනු ඇති.