ට්‍රම්ප් කැනඩා වෙළෙඳ සාකච්ඡා අවසන් කරයි

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව සමඟ පැවති සියලුම වෙළෙඳ සාකච්ඡා අවසන් කිරීමට තීරණයකර තිබෙනවා.

තීරුබදුවලට එරෙහිව කැනඩාව විසින් දියත් කරන ලද වෙළඳ ප්‍රචාරක ව්‍යාපාරයකදී හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ප්‍රකාශයක් වැරදි ලෙස උපුටා දැක්වූ බවට චෝදනා කරමින් ජනාධිපති ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ධවල මන්දිරය නිකුත් කළ ප්‍රකාශයකට අනුව, කැනඩාව විසින් ඇමරිකානු තීරුබදු විවේචනය කිරීම සඳහා යොදාගත් වෙළඳ දැන්වීමක රොනල්ඩ් රේගන්ගේ ප්‍රකාශයක් සන්දර්භයෙන් තොරව සහ අසත්‍ය ලෙස ඉදිරිපත් කර ඇති බවයි ට්‍රම්ප් පවන්නේ.

කැනඩාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින ජනාධිපති ට්‍රම්ප්, මෙම ක්‍රියාව “වෙළඳ සබඳතා කෙරෙහි එල්ල කරන ලද බරපතල අගෞරවයක්” ලෙස හඳුන්වමින්, “අපගේ මිත්‍ර රටක් හිටපු ජනාධිපතිවරයෙකු වැරදියට උපුටා දැක්වීම මගින් සත්‍යය විකෘති කිරීමට උත්සාහ කරන්නේ නම් සාකච්ඡා ඉදිරියට ගෙන යා නොහැකි” බවට ප්‍රකාශ කර තිබෙනවා.

මෙම තීරණය හේතුවෙන් දෙරට අතර පැවති වෙළඳ සාකච්ඡා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති අතර, කැනඩාව ඊට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව ලොව අවධානය යොමුවී තිබෙන අතර කැනඩා රජය තවමත් මෙම චෝදනාවලට නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නැහැ.