ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 17

හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා හමුවේ යළි විභාගයට ගැණුනා.

වැඩිදුර විභාගය දෙසැම්බර් 17 දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළා.

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර තිබුණා.

නඩුව විභාගය ගත් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූවා.

විත්තිකරුවන්ට එරෙහිව එකම චෝදනා යටතේ 2010, 2012, 2011, 2014 වර්ෂයන්ට අදාල වන ලෙස වෙන් වෙන් වශයෙන් නඩු 4ක් ගොනුව ඇති බව
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණය හමුවේ පවසා සිටියා.

එකම චෝදනාව යටතේ විත්තිකරුවන්ට එරෙහිව ඇති මෙම නඩු 4ම එකම උසාවියක් තුළ විභායෙන් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට බාධාවක් ඇති විය හැකි බැවින් නඩු විභාගය වෙනත් අධිකරණයක් හමුවට යොමු කරන ලෙස නීතීඥවරු එහීදි ඉල්ලා සිටියා.

ඒ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා පැවසූවේ, විත්තියේ නිතීඥවරු පවසන අන්දමින් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට එම කරුණ බාධාවක් නොවන බවයි.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තියේ ඉල්ලීම ප්‍රතික්ශේප කරමින් නඩු විභාගය ආරම්භ කළා.

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු , සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.