බිත්තර අවුලක් : බිත්තරයක් රුපියල් 18 ට දෙන්න බෑ.. නිෂ්පාදන වියදම ඊට වැඩියි

බිත්තරයක් රුපියල් දහ අටකට අලෙවි කිරීමට හැකියාව පවතින බවට සිදුව ඇති ප්‍රකාශයක් පිළිබඳව බිත්තර නිෂ්පාදන සහ වෙළෙඳ සංගම් විරෝධය පළ කරමින් හෙට්ටිපොල පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කළ බව සඳහන් කර සිටිනවා.

යම් පිරිසක් විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයකට අනුව මේ වන විට වෙළඳපොළ තුළ බිත්තර මිල අඩුවෙතැයි බලාපොරොත්තුවෙන් බිත්තර මිලදී ගැනීමෙන් වෙළඳුන් සහ පාරිභෝගිකයන් වැළකී සිටින බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් පවතින නිෂ්පාදන වියදම් හමුවේ කිසිදු ලෙසකින් රුපියල් 18 ක් වැනි මුදලකට බිත්තරයක් අලෙවි කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ සඳහන් කර සිටිනවා.

බිත්තරයක මිල රුපියල් 30 කට ආසන්න මුදලක් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසනවා.

කෙසේ වෙතත් දෙසැම්බර් මාසය දක්වා බිත්තර හිඟයකින් තොරව අලෙවි කිරීමේ හැකියාවක් පවතින බවයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී. අලහකෝන් පවසා සිටියේ.

පැතිර යන ප්‍රචාරයන් හමුවේ බිත්තර නිෂ්පාදකයන් අර්බුදයට ලක් වුවහොත් එහි වගකීම රජය බාරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වෙළඳුන්ටත් පාරිභෝගිකයන්ටත් ‘සාධාරණ මිලක්’ ලබාදීමය, වගකිවයුතු සංගම් සහ පාර්ශ්ව සමඟ එක්ව සඳුදා දිනයේදී කටයුතු කරන බව වෙළඳ සහ නිෂ්පාදන සංගම් වැඩිදුරටත් සඳහන් කළා.