මෙරට රජය විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අහෝසි කළ යුතු බවත්, මීට පෙර තීරණය කළ පරිදි ඒ වෙනුවට නව නියාමන ආයතන පිහිටුවිය යුතු බව අමෙරිකාව පවසනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ2025 ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ නවතම වාර්තාවෙන් පවසන්නේ 2024 ජූලි මාසයේදී සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනතේ සඳහන්නව නියාමන ආයතන පිහිටුවමින් එම පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි.
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන පරිසරය පිළිබඳව මෙම වාර්තාවෙන් බරපතල කනස්සල්ලක් මතුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ආයෝජන සම්බන්ධයෙන් වන වත්මන් සැකැස්ම දිගුකාලීන අවදානම් ඇති කරන බවට අනතුරු ඇඟවීමක්.
වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවට ආර්ථික පරිවර්තන පනත යටතේ වන ආයතන 05 පිහිටුවීමෙන් විදේශ ආයෝජනවල තත්වය ස්ථාවර කළ හැකියි.
ඒවා නම්, ශ්‍රී ලංකා ආර්ථික කොමිසම, ශ්‍රී ලංකාවේ කලාප, ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිසම, සහ ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන ශ්‍රී ලංකා ආයතනය යන ඒවායි.
මෙම සංවිධාන මගින් ආයෝජන ක්‍රියාවලීන් විධිමත් කිරීමටත්, විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමටත්, ප්‍රතිපත්ති ස්ථායීතාව පිළිබඳ විශ්වාසය යළි තහවුරු කිරීමටත් අපේක්ෂා කෙරෙන බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.
අමෙරිකාවේ විශ්ලේෂණයට අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පිළිබඳ පවතින පැමිණිලි අතර අධික නිලධාරිවාදය, නොගැලපෙන ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති අනුමත කිරීම්වලදී ඇතිවන දිගු ප්‍රමාදයන් හේතුවෙන් මෙම ආයතනය විදේශීය ආයෝජකයින්ට ප්‍රධාන බාධකයක් බවට පත්ව තිබෙනවා.
ආර්ථික පරිවර්තන පනත සම්මත කර තිබියදීත්, ආයෝජන මණ්ඩලය ප්‍රතිසංස්කරණයකින් තොරව දිගටම ක්‍රියාත්මක වන අතර එය ශ්‍රී ලංකාවේ විශ්වසනීයත්වයට හානි කරන බව වාර්තාවේ දැක්වෙනවා.
කෙසේ වෙතත්, 2024 අගභාගයේදී ජාතික ජන බලවේගය මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු මෙම පනත ක්‍රියාත්මක කිරීම ඇනහිට ඇති අතර, එම නිසා ආයෝජන මණ්ඩලය දිගටම ක්‍රියාත්මක වන බව වාර්තාවෙන් සිහිපත් කර දී තිබෙනවා.
වත්මන් රජය රට තුළට ආයෝජන පැමිණීම ප්‍රවර්ධනය කිරීමට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද, පවතින තත්ත්වය හේතුවෙන් විදේශීය ආයෝජකයින් අතර පවතින්නේ මිශ්‍ර අදහසක් වන අතර ආයෝජනයට මැලිකමක් දක්වන බවයි වාර්තාවේ දැක්වෙන්නේ.
කෙසේවෙතත්, මෙම වසරේ මුල් භාගයේදී ආයෝජන සම්බන්ධයෙන් බරපතල පසුබෑමක් ද වාර්තා වූ බව එහි සඳහන්.
මීට අමතරව, රජය විසින් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීමේ සැලසුම් නතර කර ඇති අතර, ඒ වෙනුවට හැරවුම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
විශේෂයෙන්ම, ලංකා විදුලිබල මණ්ඩලය වැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීමේ කටයුතු ඇණහිටීම නිසා, කාර්මික මෙහෙයුම් සඳහා ඉතා තීරණාත්මක වන පිරිවැය-ඵලදායී බලශක්ති සැපයුම් සංවර්ධනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තාව පවසන්නේ.
කෙසේවෙතත් ඉහත කරුණු සැළකිල්ලට ගෙන මෙරටට පැමිණිය හැකි ආයෝජකයින් තවදුරටත් ආයෝජනය කිරීමට මැලිවන බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.