අල්ලස් කොමිසමේ මූල්‍ය ස්වාධීනත්වය තහවුරු කිරීමේ ප්‍රමාදය ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි අප්‍රසාදය

අල්ලස් කොමිසමේ මූල්‍ය ස්වාධීනත්වය තහවුරු කිරීමේ ප්‍රමාදය පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

මූල්‍ය කටයුතු සහ මෙහෙයුම් සම්බන්ධයෙන් සැබෑ ස්වාධීනත්වයක් නොමැතිව, ඵලදායී හා අපක්ෂපාතී දූෂණ විරෝධී ආයතනයක් ලෙස ක්‍රියා කිරීමට කොමිසමට ඇති හැකියාව තවදුරටත් අවදානමකට ලක් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අල්ලස් කොමිසමේ විශ්වසනීයත්වය සඳහා මූල්‍ය ස්වාධීනත්වය ඉතා වැදගත් වන අතර, දූෂණ විරෝධී පනත ප්‍රකාරව කොමිසමේ අයවැය කථානායකවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු නමුත්, ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතියක් අවශ්‍ය නොවන බවත් ඔවුන් පෙන්වා දෙනවා. 

මෙම නීති රාමුව සැලසුම් කර ඇත්තේ, අල්ලස් කොමිසම දේශපාලන බලපෑම්වලින් ආරක්ෂා කිරීමට සහ එහි වගවීම පාර්ලිමේන්තුවට පමණක් පැවරීම සහතික කිරීම සඳහා බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මූල්‍ය ස්වාධීනත්වය යනු තාක්ෂණික කාරණයක් පමණක් නොව, අල්ලස් කොමිසමේ කාර්යක්ෂමතාවයේ මූලික අංගයක් බවද, අල්ලස් කොමිසමේ සම්පූර්ණ මූල්‍ය සහ මෙහෙයුම් ස්වාධීනත්වය සහතික කරන ලෙස පාර්ලිමේන්තුවෙන්, විධායකයෙන් සහ සියලුම අදාළ රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.