රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දෙයි

රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න පවසනවා.

ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණ බවත්, ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යුතු බවත් ඔහු පවසා සිටියා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රාජකාරි කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා, 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත අනුව, ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන ප්‍රකාරව, ‘LankaPay’ ආයතනය ඩිජිටල් අත්සන සහතික කිරීමේ අධිකාරිය වන අතර, මේ මඟින් ලිපි මඟින් කටයුතු කිරීමේදී ඇති වන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකි වනවා සේම, වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් ලබා ගත හැකිවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.