තැපැල් සේවාවේ අනාගත නව්‍යකරණයට රු.මිලියන 2085ක් වෙන් කරයි

මෙරට තැපැල් සේවාවේ අනාගත නව්‍යකරණයට රුපියල් මිලියන 2085 ක මුදලක් මෙම වර්ෂයේ වෙන්කර ඇතිබව තැපැල් විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ (12) සිදුවිය.

යෝජිත බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 12.22 කි. මෙම වර්ෂය නිමවීමට පෙර මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන බලපිටිය තැපැල් කාර්යාලය මේවන තෙක් විවිධ ස්ථානවල කුලි පදනම මත පවත්වාගෙන යනු ලැබීය. වර්තමානය වනවිට පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාලයක්වන බලපිටිය තැපැල් කාර්යාලයෙන් සෘජුවම සේවය සැලසෙන පවුල් සංඛ්‍යාව 5520 කි. රජයේ ආයතන 48 කට සහ හෝටල්, කර්මාන්ත ශාලා ඇතුළු ආයතන රැසකට මෙම තැපැල් කාර්යාලය මගින් සේවය සලසනු ලබයි. මේවන විට ගාල්ල දිස්ත්‍රික්කය තුළ තැපැල් කාර්යාල 40 ක් ස්ථාපනය කර ඇති අතර උප තැපැල් කාර්යාල ගණන 215 කි.

තැපැල් සේවාවේ අනාගත නව්‍යකරණය සදහා මෙම වර්ෂයේ රුපියල් මිලියන 2085 ක මුදලක් වෙන්කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මුල්ගල තැබීමෙන් පසු මෙහි දී අදහස් දක්වමින් පැවසීය.

ඒ් යටතේ තැපැල් දෙපාර්තුමේන්තුවට අවශ්‍යවන ලොරි රථ මිල දී ගැනීම සදහා රුපියල් මිලියන 250ක මුදලක් ද, කැබ් රථ මිල දී ගැනීම සදහා රුපියල් මිලියන 320 ක මුදලක් ද, උප තැපැල් කාර්යාල වලට නවීණ තාක්ෂණය එක් කිරීම සදහා අවශ්‍යවන ටැබ් පරිඝණක යන්ත්‍ර 1500 ක් මිල දී ගැනීම සදහා රුපියල් මිලියන 180 ක මුදලක් ද, පරිඝණක යන්ත්‍ර 225 ක් මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 75ක මුදලක් ද වෙන්කර ඇති බව ද, තැපැල් කාර්යාල යම් ප්‍රමාණයකට පුණර්ජනනීය සූර්යබල ශක්තිය ලබා දීමට රුපියල් මිලියන 40 ක මුදලක් ද වෙන්කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

රුපියල් මිලියන 600 ක මුදලක් නව තැපැල් කාර්යාල ඉදිකිරීම සදහා වෙන් කර ඇති බවත්,ඒ යටතේ නව තැපැල් කාර්යාල විස්සක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද සදහන් කර සිටියේ ය. 2016 වර්ෂයෙන් පසු මේ දක්වා කිසිදු තැපැල් කාර්යාල ඉදිකිරීමක්, තැපැල් දෙපාර්තුමේන්තුවෙන් සිදු නොවුනු බවත්,ඊට පැවති රජයන් උත්සහ නොකළ බවත්, වත්මන් රජය බලයට පත්වී මුල්ගල තැබූ සිවිවන තැපැල් කාර්යාලය මෙය බවත්, මෙහි ඉදිකරීම් දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර නිමකරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

තවත් රුපියල් මිලියන 600 මුදලක් තැපැල් කාර්යාල නවීකරණය කිරීමට වෙන් කර ඇති බවත්, මෙරට ඓතිහාසික තැපැල් කාර්යාල වන නුවර, නුවරඑළිය ඇතුළු තැපැල් කාර්යාල තැපැල් කාර්යාල 209 ක් නවීකරණය කිරීමට අවශ්‍ය කටයුතු කරන බව ද වැඩිදුරටත් පැවසී ය. මේ සියල්ල තුළින් ශ්‍රී ලංකා තැපැල් සේවාව නව මානයකට රැගෙන යන බවත්, එයින් මෙරට ජනතාවට විශිෂ්ට, කාර්යක්ෂම තැපැල් සේවාවක් ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කර සිටියේ ය.

විසි තුන්දහසකට දහසකට ආසන්න තැපැල් සේවකයන්ගේ ක්‍රියාකලාපයන් මෙරට ජීවත්වන ජනතාවට විවිධ ආකාරයෙන් විවිධ පැතිකඩවලින් බලපාන බවත්, ඒ සියලු දෙනා එක්ව එක පවුලක් ලෙස එකට බැදී කටයුතු කිරීම තුළින් තැපෑලට විශිෂ්ට අගයක් එකතු වන බවත්, මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට සියලු වෘත්තිකයන්ගේ මෙන්ම සැම දෙනාගේම දායකත්වය අතිශයින්ම වැදගත් වන බවත්, තැපැල් සේවාවේ සංවර්ධනයට වත්මන් රජය සිදුකරන විශාල කාර්යභාරය මනාව තේරුම්ගෙන සියලුම තැපැල් සේවකයන් වගකීමකින් යුතුව4 කටයුතු කරනු ඇතැයි ද තමා බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසී ය.

මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාවට වසර 200 කට අධික ඉතිහාසයක් පවතින අතර නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම වේ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ හසාරා ලියනගේ, බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මහවැලි, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව, නියෝජ්‍ය තැපැල්පති (දකුණ) රවීන්ද්‍ර ගුණරත්න, ප්‍රාදේශීය තැපැල් අධිකාරී එස්.එස්. සෙනෙවිරත්න,ප්‍රාදේශීය තැපැල් අධිකාරී එස්.එස්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළුව ප්‍රදේශයේ මහජනතාව එක්ව සිටියහ.