අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහි නඩුවකට අධිචෝදනා ගොනුකර ඇති බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙයි

හිටපු ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුව අද (02) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට මෙම කරුණු දැනුම් දුන්නා.

නොතීසි ලැබුණු විට මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකරුවන්ට නියම කළ අතර, ඉන්පසුව, නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

2014 වසරේ දෙසැම්බර් මාසයේදී, ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින්, නීති විරෝධී ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම යන කරුණ සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.