යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි, ජනපති අනුරට ස්තූතිය පළ කරයි

යුක්‍රේනයේ නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකට සිය ස්තූතිය පළ කරන බව යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි පවසනවා.

අන්‍යෝන්‍ය ගෞරවය, සාමය සහ සමෘද්ධිය සඳහා වූ පොදු කැපවීම මත පදනම් වූ ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාව යුක්‍රේනය විසින් අගය කරන බවයි සිය නිල X ගිණුමේ සටහනක් පළ කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ යුක්රේනය විසින් මිත්‍රත්වය, පොදු සාරධර්ම, අන්‍යෝන්‍ය ගෞරවය සහ සුහදශීලීත්වය මත පදනම් වූ බහුවිධ සබඳතාවක් අඛණ්ඩව භුක්ති විඳින බවද, සිය ජනතාවගේ සාමය, ප්‍රගතිය සහ සෞභාග්‍යය උදෙසා වන පොදු ඉලක්කයන් තුළ, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම් තවදුරටත් ගැඹුරු වනු ඇතැයි විශ්වාස කරන බවද යුක්‍රේන ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබුණා.

“වර්තමානයේ යුක්රේනය මුහුණ දෙන අභියෝග සහ දුෂ්කරතා ඉක්මනින් විසඳී, රට තුළ සාමය, සහජීවනය සහ ස්ථාවරත්වය යළි ස්ථාපිත වනු ඇත යන්න මාගේ ඒකායන බලාපොරොත්තුවයි” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

යුක්‍රේන ජනපතිගේ X සටහන පහතින්.