චීන – ඉන්දියා මිත්‍රත්වය අලුත් වෙයි‍

මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක් වීමට නියමිත චීන සංචාරයත් සමග චීන-ඉන්දීය සබඳතා යළි ශක්තිමත් වීමේ ප්‍රවණතාවක් පවතී. 

එවන් මොහොතක චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ඉන්දියාවේ සංචාරයකට එක් වීමත් විශේෂත්වයකි. 

එහිදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සමග පැවති සාකච්ඡාවට ද වැඩි අවධානයක් යොමු විය. 

එම සාකච්ඡාවේදී චීන-ඉන්දියා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කර ඇත. 

එම ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී වැන්ග් යී මහතා පැවසුවේ දෙරට නායකයින්ගේ වැදගත් එකඟතා ක්‍රියාත්මක කරමින් සියලුම මට්ටමේ සංවාද මෙන්ම හුවමාරු සබඳතා ක්‍රමයෙන් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවය. 

එමෙන්ම දේශසීමා ප්‍රදේශවල සාමය පවත්වා ගනිමින් ඉන්දියානු බැතිමතුන්ට චීනයේ Xizang ජාතික ස්වායත්තයේ පූජනීය ස්ථාන වන්දනා ගමන් යළි ඇරඹීමට සහයෝගය ලබා දෙන බව ද හෙතෙම සඳහන් කළේය. 

මේ වනවි‍ට චීන-ඉන්දියා සබඳතා ශක්තිමත් වෙමින් ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් තිබේ. 

එමෙන්ම මෙම වසර චීනය සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සර වසරද වේ. 

අතීත පාඩම් සිහිපත් කර, නිවැරදි උපායමාර්ගික දැක්මක් සහිතව තරඟකරුවන් හෝ තර්ජන ලෙස නොව හවුල්කරුවන් සහ අවස්ථා ලෙස එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව ද මේ වන විට වාර්තා වේ. 

මේ අතර එස්. ජයිශංකර් මහතා සඳහන් කර ඇත්තේ දෙරට නායකයින්ගේ මඟපෙන්වීම යටතේ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වැඩිදියුණු වන බවත්, සියලු අංශවල සහයෝගීතා සාමාන්‍යකරණය වෙමින් පවතින බවය. 

එමෙන්ම චීනය සමග දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කර ගනිමින්, ආර්ථික සහ වෙ‍ෙළඳ කටයුතු ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.  

මානව සබඳතා ශක්තිමත් කර දේශසීමා ප්‍රදේශයේ සාමය සහතික කිරීමට එක්ව කටයුතු කළ යුතු බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.